වැඩ බැරි ආණ්ඩුව ජන මතයට කන් දී වහා අස්වනු…! සජබ දක්ෂයින් සමග වසර 5න් රට ගොඩගන්න සූදානම්…!

June 27, 2022 at 6:49 pm | by emanisa.lk

ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට නොහැකි නම් ට්විටර් පණිවිඩවලින් සමාව නොගෙන වහාම ඉවත් වන ලෙසත් එසේ ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගයේ දක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ රට බාර ගෙන දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය මතය අනුව ඉදිරි වසර 5ක කාලය තුළ අනිවාර්යෙන් පෙර තිබූ තත්ත්වයට ම රට ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සුපිරි අගමැතිවරයෙක් ගෙන්වා රට ගොඩනගන බවට ආණ්ඩුව පෙන්වූ බොරු නාටක සියල්ල දැන් ජනතාව හමුවේ හෙළිවී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදීත් එදා වේලා කවර් කර ගන්න බොරු කියන ආණ්ඩුවේ ඇමතිවරු මේ වන විට විදෙස් රටවල සංචාරයට ගොස් ගෑස්, ඉන්ධන, කිරිපිටි ඉල්ලන බොරු නාටකයක් ආරම්භ කර ඇති බවත් එවැනි බොරුවලින් ජනතාව ඇන්දවීම නවත්වන ලෙසත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වැඩි දුරටත් කියා සිටියේ කෝප් කමිටුවට අයුතු බලපෑම් සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය කිරීම කෝප් කමිටුවේ සභාපතිවරයාගේ වගකීම බවයි.

එසේම මාස 5න් 10න් රට ගොඩනගන බවට වන ව්‍යාජ ඇස්බැන්දුම් නූල් සූස්තර ගේම් නවත්වා රටේ නැති වූ අභිමානය නැවත ගෙන ඒම සඳහා ජනතා මතයට කන් දී ඉවත් වන ලෙස ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික දේශපාලන හා සමාජය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහ ජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධ ප්‍රතිසංස්කරණ සඳහා මහ ලේකම් කාර්යාලයක්, විපක්ෂ නායක කාර්යාලයේ දී අද (27) විවෘත කෙරිණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. එහි ප්‍රධාන ලේකම් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *