නැවත වැඩ වර්ජනයක් ඇති වුවහොත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ කුඩා යාත්‍රා සේවය බිඳ වැටීමට ඉඩ නොතබන බව ටග් යාත්‍රා හා කුඩා යාත්‍රා නියමුවන් (Pilot)ගේ සංගමය රජයට පොරොන්දු වී තිබේ.
එම සංගමය රජයට පොරොන්දුවී ඇත්තේ වරාය අධිකාරියේ නියමුවරුන්ගේ සංගමය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉකුත් සතියේ මුණ ගැසුනු අවස්ථාවේදීය. ඊට නාවුක හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද සහභාගී වී සිටියේය.
කොළඹ වරාය ඇතුළු මෙරට වරායන් වෙත පැමිණෙන විශාල නෞකා වරාය ජැටි වෙත රැගෙන එනු ලබන්නේ මෙම ටග් යාත්‍රා මගිනි. එසේම පිටත වරායේ නවතා පහසුකම් ලබා ගන්නා නෞකාවල කපිතාන්වරු සහ කාර්ය මණ්ඩලය ගෙන එනු ලබන්නේ ද කුඩා යාත්‍රා මගිනි.
ඉකුත් 15 දා පැවැති වැඩ වර්ජනයට මෙම සංගමය ද එක්ව සිටි අතර ඔවුන් වෙනුවට නාවුක හමුදාවේ යාත්‍රා යොදවා නෞකා වෙත අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීමට රජය කටයුතු කටයුතු කළේය. මේ පිරිස නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු සාගල රත්නායක මුණ ගැසී වැඩවර්ජනය නිසා ඇති වූ අපහසුතාව වෙනුවෙන් රජයට කනගාටුව පළ කර ඇති අතර පසුව ඔවුන් තමන්ගේ රාජකාරි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත.
මූල්‍ය ගැටලුවලට ම මොහොතේ විසඳුම් ලබාදිය නොහැකි බව දන්වා ඇති සාගල රත්නායක, යළි යළිත් මේ සේවය බිඳ වැටෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග වෙත යාමට රජයට සිදුවන බව දැනුම් දී ඇත. එහි දී නියමු සංගමය කියා ඇත්තේ යලිත් එවැනි බිඳ වැටීමක් සිදු නොවනු ඇති බවය.