ලොව ප්‍රථම දාගැබ මහියංගණයේ ඉදිවූ දුරුතු පුර පොහොය අදයි!

January 10, 2020 at 10:43 am | by emanisa.lk

නව වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. එය අංශ කිහිපයකින්ම බෞද්ධ ජනයාට වැදගත් වේ.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්ව නවවැනි මාසයේ එළඹි දුරුතු පොහෝ දින උරුවෙල් දනව්වෙහි තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුව ලංකාද්වීපයට වැඩම කළහ.

එහිදී මහානාග නම් වනෝද්‍යානයට රැස් වූ යක්ෂ පිරිස එකිනෙකා සමග යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදු හිමියෝ එම ස්ථානයට වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ.

බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කළ සුමන සමන් දිව්‍යරාජයා සෝවාන් වූ බවද පැවසෙයි. වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබාදෙන ලෙස සුමන සමන් දෙවිඳුන් කළ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ ශීර්ෂය පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුන් බවද ඉතිහාසයේ සඳහන් වේ.

එම ධාතු නිදන් කර සුමන සමන් දෙවියන් මහියංගන දාගැබ කරවූ අතර එය ලොව ප්‍රථම දාගැබ මෙන්ම බුදුන් ජීවමාන කාලයේම ඉදි වූ දාගැබ ද වෙයි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනින් පසු මගධ රට රජගහනුවර බිම්බිසාර රජුගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් රහතන් වහන්සේ හා රජගහ නුවරට වැඩම කළේද දුරුතු පොහෝ දිනකය.

බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එම දුරුතු පොහෝ දින පූජා කරන ලදී. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව එයයි. මෙතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

කැලණි විහාරයේ වාර්ෂික පෙරහර ආරම්භ වීම සිදුවන්නේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදීය. තවත් ආගමික හා ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රැසක් දුරුතු පුන් පොහෝදින සිදු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස