ලංකා ඉතිහාසයේ විශ්වාසභංග 25ක් විවාද කළා! ඒ කිසිවක් තේරිම් කාරකසභාවට දාලා නෑ! එහෙනම් රිෂාඩ්ට විශේෂත්වයක් ඇයි?! – උදය ගම්මන්පිල (video)

May 29, 2019 at 7:13 am | by admin

ත්‍රස්තවාදයට ආධාර අනුබල දුන් බවට බවට චෝදනා නැඟෙන ඇමති රිෂාඩ් බදියුදීන් වැරදිකරු ද නිවැරදිකරු ද යන්න තීන්දු කළ යුත්තේ තේරීම්කාරක සභාවක් නොව අධිකරණය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එහිදී වැඩි දුරටත් ඔහු මෙසේ පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කතාව අසන විට අපට නිතර ඇසෙන නමක් තමයි රිෂාඩ් බදියුඩීන්. බෝම්බකරුවන් නතර වී සිටියේ රිෂාඩ්ගේ සහෝදරියගේ ගෙදර. බෝම්බ නිෂ්පාදනය කළ බවට සැක කරන කම්හලට තඹ ලබා දී තිබෙන්නේ රිෂාඩ්. පුපුරුවා ගත්තු දෙන්නෙක් රිෂාඩ්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකගේ දුව සහ බෑනා ත්‍රස්තවාදින්. රිෂාඩ්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන වන ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු ත්‍රස්තවාදින්. යුද හමුදාපතිට සැකකරුවෙකු නිදහස් කරන්න කියලා බල කලේ රිෂාඩ්. රිෂාඩ්ගේ මල්ලිව හමුදාව අත්අඩංගුවට අරන් පොලිසිය උසාවි නොදා නිදහස් කරනවා. රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙකු අත්අඩංගුවට. රිෂාඩ්ගේ උපදේශකයෙකු අත්අඩංගුවට. රිෂාඩ්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ දොස්තර ෂාෆි ශිහාඩීන් අත්අඩංගුවට.

මෙහෙම බැලුවාම අතනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. රිෂාඩ් ඇමති හමුදාපතිට බලපෑම් කරනවා. වෛද්‍ය ශාෆිට එරෙහිව එන පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී යටපත් වෙනවා. මල්ලිව නිදහස් කර ගන්නවා. නමුත් අද දක්වා ත්‍රස්තවාදි සම්බන්ධතා පිළිබඳ කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නෑ. ඇයි ඒ? ඇමති ඌෂ්ණේ. ඒ නිසා තමයි ස්වාධීන පරීක්ෂණයක් කිරීමට නම් ඔහු ඇමති ධූරයෙන් ඉවත් විය යුතුයි කියන්නේ.

ආණ්ඩුව ඒ වෙනුවට කළේ තේරීම් කාරක සභාවක් පත් කරලා රිෂාඩ්ගේ කුණු හෝදන්න තීරණය කිරීමයි. පාස්කු බෝම්බයෙන් මිය ගිය අයගේ තුවාල වුණු අයගේ ලේ රිෂාඩ්ගේ ඇඟ පුරාම. අමාත්‍ය රිෂාඩ්ගේ ලේ පැල්ලම් හෝදන්න ගිහින් තමන්ගේ ඇඟේ ලේ ගා ගන්න එපා කියා අපි තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට කියනවා. හෘද සාක්ෂියට එකඟව මේ කාරක සභාවේ ඉන්න බෑ කියලා ඉවත් වුණු කාවින්ද ජයර්වධන මන්ත්‍රිතුමාට අපි හිස නමා ආචාරය පුද කරනවා. ඒ වගේම අනිත් සාමාජිකයින්ටත් කාවින්ද ගත් මග අරගෙන පක්ෂයට උඩින් ආණ්ඩුවට උඩින් අපේ මව්බිම සහ රටේ ආරක්ෂාව තබන්න කියා ඉල්ලීමක් කරනවා.

ලංකා ඉතිහාසයේ විශ්වාසභංග යෝජනා විසි පහක් විවාද කර තිබෙනවා. මේ එකක්වත් තේරීම් කාරක සභාවකට යොමු කරලා නෑ. රිෂාඩ් ඇමතිට විතරක් විශේෂත්වයක් ඇයි? මේ තේරීම් කාරක සභාව හරහා උත්සහ දරන්නේ විශ්වාසභංග යෝජනාව විවාදයට පෙර රිෂාඩ් අමාත්‍යවරයා නිවැරදිකරුවෙකු කරන්නයි. එමගින් එජාප මන්ත්‍රිවරුන් ඔහු රකින තැනට තල්ලු කරන්නටයි. රිෂාඩ් පිළිබඳ විර්මශනය කරන්න ඕනෑ පොලිසිය මිස තේරීම් කාරක සභාවක් නොවේ.

රිෂාඩ්ට අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරන්න ඕනෑ නීතිපති මිස තේරීම් කාරක සභාවක් නොවේ. රිෂාඩ් අමාත්‍යවරයා වැරදිකරු ද නිවැරදිකරු ද කියන එක තීරණය කළ යුත්තේ අධිකරණය මිස තේරීම් කාරක සභාවක් නොවේ. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් වෙච්ච දේ තේරීම් කාරක සභාවත් කරගනීවි කියන විශ්වාසය අපට තියෙනවා.

2019 මැයි 27 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් දැක් වූයේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස