ලංකා ආණ්ඩුව ජිනීවා යෝජනාව පිළිගැනීමෙන් හමුදාව යුද අපරාධ කළ බව තහවුරුයි!

February 20, 2019 at 3:07 pm | by admin

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලංකා රජය පිළිගැනීම තුළින්ම මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇතැයි තහවුරු වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් පවසයි.

යුද සමයේදී මෙරට ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ හෝ මානව හිමිකම් කඩකිරීම් සිදුනොවූ බවට මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ කීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ගෙන ආ යෝජනාව පිළිගනිමින් 2017 වසරේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල දිගුවක් ද ශ්‍රීලංකා රජය ලබාගෙන තිබුණා. මෙතුළින් ශ්‍රීලංකාවේ යුද අපරාධ, මානව හිමිකම් කඩවීම්, අතුරුදන් කිරීම් සිදුව ඇති බවට ලක් රජය පිළිගෙන තිබෙනවා. ඒ නිසා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයාට අසත්‍ය ප්‍රචාරයන් සිදු කරල කාව හරි රවටන්න බැහැ.

යුද සමයේදී සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කරන බව ප්‍රකාශ කළේ ශ්‍රීලංකා රජයයි. ජිනීවා යෝජනාවට අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දෙවසරක කාලයක් අයැද සිටියේද වැරදි සිදුවී ඇති බව රජය විසින් පිළිගෙන ඇති නිසයි.

මැතිවරණ සඳහා මුහුණ දිය යුතු කාලයක් පැමිණීමත් සමඟ වැරදි අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම අදහස් දැක්වීම නොකළ යුතුයි. මෙවන් ප්‍රකාශයන් සිදුකරන අය සත්‍ය වසන් කිරීමට උත්සහා දරණ අයයි.මහින්ද රාජපක්ෂ මහතාත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙනුයි.

කෙසේ නමුත් වගවීමෙන් ශ්‍රීලංකාවට දුරස් විය නොහැකියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකා රජයට දෑත් බැඳගෙන මේවාට උත්තර දෙන්න සිද්ධ වෙනවා, යැයි ද අඩෛකලනාදන් පැවසීය.

පසුගියදා දෙමළ සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ වසර දහයකට පසු ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ යුද සමයේ හමුදාව අපරාධ කළ බව පිළිගැනීම අගය කළ යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස