රාජපක්ෂ යුගයේ එක හදිසි විදුලි ඒකකයක් මිලට ගත්තේ නෑ! මඩි තරකර ගන්න සිතූ මේ ආණ්ඩුව කිසිම බලාගාරයක් හැදුවේ නෑ!

May 30, 2019 at 4:44 pm | by admin

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් නොකළ බවත් රටේ විදුලි හිඟය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුණු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය

ඇය මෙම අදහස් පළ කළේ අද (30) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පැවති පක්ෂ රැස්විමට එක්වෙමිණි

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය මෙසේද පැවසීය.

මෙගාවොට් 40කින් යුක්ත උමාඔය ජල විදුලි බලාගාරය අපි දෙන අවස්ථාවේ 80%ක් වැඩ අවසන්. මෙගාවොට් 25 කින් යුක්ත රෝඞ්ලන්ඞ් බලාගාරය අපි 40%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 35කින් යුක්ත මොරගහකන්ද ජල විදුලි බලාගාරයෙන් 70%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 25කින් යුක්ත මොරගොල්ල විදුලි බලාගාරයෙන් 25%ක් වැඩ අවසන් කරලා තිබුනේ. අපේ යුගයේ මෙවැනි විදුලි බලාගාර රැසක් ඇරඹුවත් ගෙවුනු වසර කිහිපයේ මේ රජය කිසිදු විදුලි බලාගාරයක් හැදුවේ නැහැ.

ඒ කාලයේ හදපු විදුලි බලාගාර කිසිවක් විදුලි බල පද්ධතියට එකතු කරන්න පියවර ගත්තෙත් නැහැ. ඉන්දියානු රජයත් එක්ක මෙගාවොට් 500 ගල් අගුරු බලාගාරයක් සාම්පූර්වල හදන්න සුදානම් කළා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයත් ඉන්දියානු රජයත් එක්ව සමාගමක් හදලා සාම්පූර්වල ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමත් කළා. ඒකකයක් රුපියල් 9ට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ. 2017 වර්ෂයේ මේ බලාගාරය අපේ පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ. ටෙන්ඩර් කැඳවලා බලාගාරය පටන් ගන්න විතරයි තිබුණේ. මේ ආණ්ඩුවට ඕන වුනේ මඩි තර කර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර ගේන්නයි.

යුද්ධය ඉවර වෙන වෙලාවේ සම්පේෂණ පද්ධති බිඳ වැටිලා තිබුණා. අපේ සේවකයෝ ඉතා ඉක්මනින් ඒ සියල්ල යථා තත්ත්වයට පත් කරලා ආණ්ඩුව භාර දෙන විට උතුරට 100%ක් විදුලිය දුන්නා.

උතුරේ ජනතාව තමන්ගේ ජිවිකාව අරඹන තෙක් රජයයි විදුලි බිල ගෙව්වේ. විදුලි බල ක්ෂේත්‍රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලි හිඟයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර නොගත් බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස