රට වෙනුවෙන් එජාපය සමග එකතු වෙන්න සූදානම්…! – පොහොට්ටු ලේකම්….

December 12, 2022 at 4:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් ජනාධිපතිවරයා බවට පත්වූ බවත් ඒ හේතුවෙන් පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවත් සාගර කාරියවසම් කීය.

රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වන ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක් වීම නිසා එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් එම පක්‍ෂයටත් ශක්තියක් බව කී සාගර කාරියවසම්, සදඟන් කළේ රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න සූදානම් බවත්ය.

පක්‍ෂයක ප්‍රතිපත්ති රටේ සහ ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුණහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නොමැති බව කී ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ පැරණි වාමාංශික දේශපාලන පක්ෂවලට එයට මුහුණ දීමට සිදුවූ බව ද සඳහන් කළේය.

ප්‍රතිපත්ති වෙනස් නොකරන ස්ථාවරයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ද එවැනි ස්ථාවරයක නැතැයි සිතන බවත් පක්‍ෂ දෙකටම රටේ යහපත වෙනුවෙන් වගකීමක් ඇති බවත් සාගර කාරියවසම් වැඩි දුරටත් පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *