රට වැහුව ම ආර්ථිකේ කඩා වැටෙනවා…! – හර්ෂ ද සිල්වා…

August 21, 2021 at 8:57 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ජාතිය අමතා කළ කතාව ඇහුවා. රට වසා දැමීම නිසා ආර්ථිකය කඩා වැටෙන බව ඔබතුමා පුන පුනා කියා සිටියා. රට වසා දැම්මාම ආර්ථිකය යම් ප්‍රමාණයකට කඩා වැටෙනවා. ඒක ඇත්ත. ඔබතුමා රට වසාදැමීමේ තීරණය ගැනීමට මෙතරම් ප්‍රමාද වන්නට ඇත්තේ ඒ නිසා විය යුතුයි. නමුත්, අපි ගැටලුව හරි හැටි අවබෝධ කරගත යුතුයි.

අපි දැන් ඉන්න තැන කොතනද? ලෝකයේ මිලියනයකට වැඩිම ජනතාවක් මැරෙන රටක් ලංකාව. දිනෙන් දිනම කොවිඩ් මරණ ප්‍රමාණය වැඩිවෙනවා. වැඩිපුරම මැරෙන්නෙ අවුරුදු 60 ට වැඩි අය බවත් ඔවුන්ගෙන් බහුතරය එන්නත් ලබාගෙන නොමැති බවත් ඔබතුමා සඳහන් කළා. ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. අපි අපේ වැඩිහිටියන් මරණයෙන් බේරාගත යුතුයි.

රට තියෙන්නේ කොවිඩ්වලින් සුරක්ෂිත තැනක නම් අපිට සංචාරක කර්මාන්තය නංවන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි, මෙච්චර මැරෙන රටකට සංචාරකයින් එන්නෙ නෑ ගරු ජනාධිපතිතුමනි. ගමේ බාසාවෙන් කියනවා නම් වැඩේ අනාගෙන තියෙන්නේ. මේ මොහොතේ කරන්න තියෙන්නේ මිනිස්සු මරණයෙන් ගලවා ගන්න එක. ඒකට අකමැත්තෙන් වුණත් රට වහන්න වෙනවා.

කොවිඩ් හොඳට පාලනය කරගත්තා නම් දැන් ඔබතුමා කියන විදිහට ඇඟලුම්, සංචාරක, ඉදිකිරීම් කර්මාන්ත ඇතුළු රටේ ආර්ථිකය ගොඩගන්න ක්‍රියාත්මක වෙන්න තිබුණා. අවාසනාවකට එහෙම ප්‍රගතියක් පෙන්වන්නෙ නැතිව මිනිසුන්ගේ මරණ මතින් ආර්ථිකය හදන්න ඉදිරියට යන්න බෑ. එතකොට ආර්ථිකයයි, ජීවිතයි දෙකම නැතිවෙන්න පුළුවන්. මමත් අර්ථ ශ්‍රාස්ත්‍රඥයෙක්. මම ඉගෙනගත් ආර්ථික විද්‍යාව ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන එකක්. ඒ සඳහා මිනිස්සු ජීවත් විය යුතුයි.

ඔබගේ රජයට කොවිඩ් පාලනය කරගන්න පුලුවන් වුණා නම් ආර්ථිකයයි, ජීවිතයි දෙකම බේරගන්න තිබුණා. හැබැයි, වසංගතය රට පුරාම දුවනකං සමාජ ව්‍යාප්තියක් නෑ කිය කිය ඉඳලා, මිනිස්සු මැරි මැරී වැටෙනකොට ආර්ථිකය ගැන කතා කරල වැඩක් නෑ. කෝච්චිය ගිහින් ඉවරයි. ඔබතුමා කියපු එක කතාවක් හරි. රටක් විදිහට අපි කැපකිරීම් කරල ඉදිරියේදී ගොඩ එන්න ඕන.

ආචාර්ය හර්ෂ ද සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *