රට දියුණු කිරීමට වඩා විනාශ කරන එක පහසුයි! සිංගප්පුරුවට වඩා මේ රට දියුණු කරන්න පුළුවන්! – රාජිත

June 9, 2019 at 10:07 am | by emanisa.lk

අරාබි රටවල තානාපතිවරුන් ජනාධිපතිවරයාගේ ඉෂ්තාර් උත්සවයේ දී පවසා ඇත්තේ රට තුළ මුස්ලිම් ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳව යැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. රට තුළ නරක වාතාවරණයක් තිබුණ ද සෞඛ්‍ය සේවය උදෙසා තමා ඉටු කළ සේවය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය නැවතත් ලැබුණු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සෑම ග්‍රාම නිලධාරී වසමකම ඉදිකරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතියට සමගාමීව බේරුවල ආසනයේ පයාගල මලේගොඩ ඉදිකරන ලද නිල සෙවන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් එම රටවල ගෘහ සේවයේ යෙදී සිටිනවා. සියලු දෙනාම එකමුතුව රට දියුණූ කළ යුතුයි. රට ගිනි තැබීමෙන් සංවර්ධනයක් කළ නොහැකියි. විනාශ වූ දේපලවලට වන්දි ගෙවීමට සිදුවන්නේ සංවර්ධනය සඳහා ඇති මුදලින්. රට විනාශ කරන්න පහසු වුණත් ගොඩනැගීම හරිම අමාරුයි.”

“ජාතීන් අතර සමගිය ස්ථාපිත කළ යුතුයි. අපේ රට හදන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ සඳහා අපි කැපවිය යුතුයි. සිංගප්පූරුවට වඩා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්. වර්තමානයේ සෑම දේකටම දේශපාලනය සම්බන්ධයි. ආගමටත් දේශපාලනය සම්බන්ධ වෙලා.”

“දේශපාලනය අවශ්‍යයි. නමුත් පක්ෂ දේශපාලනය ඉවත ලා රට සංවර්ධනය කිරීමට සියලු දේශපාලන පක්ෂ පියවර ගත යුතුයි. විපක්ෂයේ ඉන්න අය බලන්නේ රට විනාශ කරලා හරි බලය ලබාගන්න.”

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මට විරුද්ධව නඩු 05 ක් දැම්මා නමුත් මම ඇයට ප්‍රකාශ කළා ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ඔබතුමිය විසඳුමක් ලබාදෙන්නේ නම් කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස