මුස්ලිම් අන්තවාදය පාපන්දු ක්‍රීඩාව වගෙයි…! සහරාන්ලා ප්‍රහාරයෝ…. බදියුදීන්ලා ගෝල් රකින්නෝ…! – බදියුදීන් අත්අඩංගුවට ගැනීම අගයමින් ජනපතිට ලිපියක්…

April 28, 2021 at 5:30 pm | by emanisa.lk

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරන ලද ලිපියක් පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සහ ඉස්ලාම් අන්තවාදයෙන් මුස්ලිම් ජනතාව ඇතුළු සමස්ථ ජාතිය බේරා ගැනීම

පළමුවෙන්ම රජය විසින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීම සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීම සඳහා වන උවමනාව මහජනයාට ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකර සිටිමි. ඒ මගින් මෙතෙක් කාලයක් මහජනයාගේ සිත්තුළ පැවති අවිනිශ්චිත තත්ත්වයන් සමනය වූ බවත් ඒ පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය රජයට හිමිවන බවත් ජාතික සංවිධාන ලෙස අප නිරීක්ෂණය කරමු.

ඉස්ලාම් අන්තවාදය ප්‍රචලිත කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශය අධ්‍යයනය කොට ඇති මහාචාර්ය බිල් වොර්නර් වැනි විද්වතුන්ගේ මතය අනුව එම ක්‍රියාවලිය පාපන්දු ක්‍රීඩාවට සමාන කළ හැක. එහිදී සහරාන් වැන්නවුන් අයත් වන්නේ ප්‍රහාරකයින් කණ්ඩායමටය. දෙවනුව ආරක්ෂකයින්ගේ කණ්ඩායමට අයත් වන්නේ විවිධ ආගමික, සමාජීය සහ දේශපාලන සංවිධාන ජාලයයි. ඊට රාජ්‍ය නොවන සංවිධාන ජාලයද අයත්වේ. තුන්වනුව ගෝල් රකින්නාගේ භූමිකාව හිමිවන්නේ කුමන හෝ පවතින රජය තුළ නියෝජනය වෙමින් අමාත්‍යධුර හොබවන මුස්ලිම් දේශපාලන නායකයන්ටය. ඔවුන් පටු දේශපාලන වාසි සඳහා ප්‍රහාරකයින්ට සහ ආරක්ෂකයින්ට අවස්ථාව සහ ආරක්ෂාව සලසන අතර සෑම විටම අන්තවාදයට එරෙහි ප්‍රහාර වළැක්වීමට ක්‍රියා කරති.

එනිසා ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමීමේ ජාතික අවශ්‍යතාව ඉටුකිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ප්‍රමාණ්‍යක් සමස්ථයක් ලෙස හෙවත් පැකේජයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව අපගේ නිගමනය වේ. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව විසින් මහජන සමුළුවකදී අනුමත කළ යෝජනා 22ක් සහිත යෝජනා මාලාව ඔබතුමාගේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු. ඊට අමතරව අපරාධ නීති ක්‍රියාවලිය විධිමත්ව සහ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස සහ සමස්ථය කළමනාකරණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අප සංවිධානය විසින් මහජනයා දනුවත් කිරීම සඳහා බෙදාහරින ලද පත්‍රිකාවක පිටපතක් ද මේ සමඟ අමුණා එවමු.

ඔබතුමාට තෙරුවන් සරණයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.04.27

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස