මාස නවයක් තිස්සේ කොරෝනා ආසාදිතයන් ගැන කතා කළත් ඉදිරියේ දී කතා කරන්න වෙන්නේ කොරෝනා මරණ ගැන! – GMOA

November 6, 2020 at 10:50 pm | by emanisa.lk

මාස 9ක් පුරාවට කොවිඩ් ආසාදිතයින් පිළිබඳව කතාබහ කළ අපට ඉදිරියේ දී මරණ සංඛ්‍යාව පිළිබඳව වැඩි වශයෙන් කතා කිරීමට සිදුවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ දිනකට මරණ 5ක් වාර්තා වීම ඉතාම භයානක තත්ත්වයක් බවයි.

“දැන් මෙච්චර දවසක් අපි රෝගීන් ගැන කතා කර කර හිටියේ. ඉදිරි සතිය දෙක මා‌සේ වෙන කොට, දෙසැම්බර් මුල වෙන කොට අපිට මරණ ගාණ ගැන වැඩියෙන් කතා කරන්න වෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා.

මේක ඉතා ම භයානක තත්ත්වයක්. අපි කිව්වා මේ සමාජය තුළින් රෝගීන් හම්බ වෙන්න ගත්ත මොහොතක දී මේ තිබිච්ච චිත්‍රය සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වෙනවා කියලා.

දැන් අද ඒක සිද්ධ වෙමින් තියෙනවා. දවසකට මරණ පහක්. හෙට මරණ 6ක් වෙයි ද 10ක් වෙයි ද නැත්නම් අපිට අනිත් පැත්තට අඩු වෙයි ද කියලා තීරණය කරන්න වෙන්නේ අපි මේ මොහොතේ දී මේ මරණ ගැන හිතලා හරි තීන්දු තීරණය ගත්තොත්.

මාස 9ටම මරණ 13යි. දවස් 14කට ආසන්න කාලයක් ඇතුළත මරණ 16යි. 09 වැනිදා මේ ඇඳිරි නීතිය ඉවත් කරනවා නම් අපි තීරණය කළ යුතු කාරණය තමයි අපි රෝග ව්‍යාප්තිය පාලනය කරල ද තියෙන්නේ, ආශ්‍රිතයින් සියලු දෙනා හඳුනා ගෙන ද තියෙන්නේ කියලා.

දැන් සමාජයට ඒ වටෙන් ආපු ආසාදිතයින්ගෙන් අවධානමක් නැද්ද? ඒ ආශ්‍රිතයින් පමණක් හඳුනා ගෙන මදි. පී.සී.ආර්. කරලා ලෙඩ්ඩු කවුද ලෙඩ්ඩු නො වන අය කවුද කියලා අපි තීරණය කරලා ඉවර ද?

රටේ ආර්ථිකය මේ සියලු දේ එක්ක තීරණය කරන්න ඕන. සෞඛ්‍යයේ මූලික හරයන් අමතක කරලා තීන්දු තීරණය ගන්න බැරි තත්ත්වයක් මේ වෙන කොට නිර්මාණය වෙලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස