මහින්ද රාජපක්ෂ ඔහුගේ ජනාධිපති ධුර කාල දෙක දැරීමෙන් අනතුරුව දේශපාලනයෙන් සමුගත්තා නම් වඩාත් හොඳ බව ඔහුගේ වැඩිමල් සොයුරු, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.
චමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.
“ගමේ ඉඳලා ආපු අය ආවෙ අහිංසක පාක්ෂිකයො. ඒ ආවෙ අගමැතිතුමා අස්වෙලා යනවා, අපේ ආශීර්වාදය නැත්නම් කනගාටුව ප්‍රකාශ කරන්න කියලා.
නමුත් එතෙන්දී ඒ මොහොතේදී සිදුවෙච්ච සිදුවීමක් නිසා, උසිගැන්වීමක් නිසා සිදුවෙච්චි දෙයක්. ඉතින් අපි මේ හැම එක්කෙනෙක්ම මේකට වගකියන්න ඕනෙ. ඇයි පොලිසිය මේ අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල්ෆේස් පැත්තට ගිය අය නතර කළේ නැත්තෙ? පොලිසිය රාජකාරිය පැහැර හැරලා තියෙනවා.
ඒක නිසා අපෙ පැත්තෙ අය දැන් කියනවා පොලිසියේ ඉන්නෙ IGP නෙවෙයි PIG කියලා. කවුද නියෝග දුන්න ද කවුරුවක්වත් පහරදෙන්න ඉඩදෙන්න කියලා? වගකියපු අය ඉන්න ඕනෙ. අපි දේශපාලනය ආරම්භ කරලා තියෙන්නෙ තියෙන දේපළ උකස් කරලා ඒවා මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන.
අපෙ තාමත් බේරාගන්න බැරිවෙච්ච දේපළ ඒවා තියෙනවා. එහෙම්පිටින්ම ඒ උකස් කරපුවා නිදහස් කරගන්න බැරිවෙලා තියෙනවා. මම හිතනවා ගරු අගමැතිතුමා එතුමාගෙ ජනාධිපති ධුර කාල දෙක ඉවර වුණායින් පස්සේ සමුගත්තා නම් මං හිතන්නෙ මීටත් වඩා හොඳයි.
ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවලට ලක්වෙලා. එතුමා විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා අවුරුදු 50ක් විතර දේශපාලන ඉතිහාසයේ. ඉතින් අපි මේ දේශපාලනයේ නිරත වෙනවා නම් අත්හැරීමත් පුරුදු වෙන්න ඕනෙ.”