මදූෂ් අල්ලන මෙහෙයුම දියත් කළ මොළකරු මමයි! වැඩේ ප්‍රමාද වුණේ උපකරණ කිහිපයක් ගන්න පමා වූ නිසායි!

February 8, 2019 at 2:16 am | by admin

මත්ද්‍රව්‍ය නිවාරණයට නව ඒකකයක් පිහිටුවමින් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මදුෂ් වැනි මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ කළ ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බවද රත්නායක මහතා ප්‍රකාශ කළේය.

තමා යටතේ එම අමාත්‍යංශය පැවැති යුගයේ මේ කටයුතු වඩාත් විධිමත් කළ බවද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා වන අබ්දුල්ලා බින් සයෙඩ් අල් නහ්යාන් මහතා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් මේ සඳහා ඔහුගේ සහාය ඉල්ලා සිටි බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු තානාපතිවරයා ද මේ ක්‍රියාවලියේ දී සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මෙම සාර්ථක මෙහෙයුම සිදු කළ දිසාව ස්ථාපිත කළේ තමා නීතිය සහ සාමය අමාත්‍ය ධූරය දැරූ කාලයේ දී බවත්, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම සංවිධානාත්මක අපරාධ විමර්ශනය ද මෙම දිසාව යටතට පත් කිරීමට කටයුතු කළ බවත් කීය.

මදුෂ් පසුපස එදා සිට කිහිප වරක් පන්නා නිසි ක්‍රමවේදයකට අනුව මේ වන විට තවත් තිදෙනෙක් සමඟ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සුබ පතන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා හා අවශ්‍ය පුහුණුව මෙන්ම මිල අධික නවීන උපකරණ ලබාදීමට තම කාලයේ ක්‍රියාත්මක වූ බවද ‍කීය. මිල අධික උපකරණ ලබා ගැනීමේ දී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් බාධක ඇතිවීම නිසා ඒවා අවමකර ගෙන ඉදිරියට යාමට සිදුවූ බැවින් අත්අඩංගුවට ගැනීම මේ දක්වා ප්‍රමාද වූ බවද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *