බොරු රැවටිලි ඇස්බැන්දුම්වලින් රට රවටන්න එපා! වෛද්‍ය ෂාෆි නියැදි සහ තාක්ෂණික පරීක්ෂණයක් කරනු!-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

July 9, 2019 at 7:42 am | by emanisa.lk

වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට නම් නියැදි සහ තාක්ෂණික පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන්ද සොයිසා මහතා ඊයේ (08) ප‍්‍රකාශ කළේය.

මවුවරුන් මදසරු භාවයට පත් කළ බවට චෝදනා එල්ල වී ඇති ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත සිදුකරන පරීක්ෂණයෙන් සාධාරණයක් සිදුවනු ඇතැයි තම සංගමයට විශ්වාසයක් නැතැයිද හෙතෙම කීය. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණය ද සාක්ෂි මත පදනම්ව සිදුකරන නිසා එයද සාධාරණ පරීක්ෂණයක් නොවන බවත් එ් මහතා ඊයේ රජයේ වෛද්‍ය සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ෂාපි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් පත්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විවිධ පාර්ශ්ව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළත් ඊට ජනාධිපතිවරයාගෙන් එතරම් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයකට සාධාරණ පරීක්ෂණයක් කිරීමට ඇත්තම අවශ්‍යතාවක් තිබේ නම් ෂාෆි වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කම් ප‍්‍රමාණය හා ඊට ආසන්නව වෙනත් වෛද්‍යවරයකු සිදුකළ සිසේරියන් සැත්කම් ප‍්‍රමාණය සන්සන්දනය කර ඉන් මවුවරුන් කොපමණ ප‍්‍රමාණයක් මඳසරු භාවයට පත්වී ඇතිද යන්න සොයා බැලිය යුතු බවද ඒ මහතා කීය. එහිදී ෂාෆි වෛද්‍යවරයා සිදුකළ සැත්කම්වලින් පසු මවුවරුන් වැඩි ප‍්‍රමාණයක් මඳසරු භාවයට පත්වී ඇත්නම් කිසියම් ගැටලූවක් සිදුවී ඇතැයි යන්න සැක කර ලෝකයේ පිළිගත් ආකාරයකට තාක්ෂණික පරීක්ෂණයකට ලක් කළ යුතු යැයිද හෙතෙම කීය.

මේ වන විට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී තිබෙන පැමිණිලිවලින් කිහිපදෙනකු තෝරාගෙන තාක්ෂණික පරීක්ෂණයකට ලක් කළහොත් එයින් ද සාධාරණ පරීක්ෂණයක් කළ බවට නිගමනයකට එළඹිය නොහැකි බව එ් මහතා කීය. එම තෝරා ගන්නා මවුවරුන්ගෙන් ෂාෆි වෛද්‍යවරයා වැරදිකරුවකු කිරීමට අවශ්‍ය නම් එ් සඳහා අවශ්‍ය මවුවරුන්ද, ෂාෆි වෛද්‍යවරයා නිවැරැුදිකරුවකු කිරීමට අවශ්‍ය නම් එ් සඳහා අවශ්‍ය මවුවරුන්ද යොදා ගත හැකි නිසා එම පරීක්ෂණය ද සාධාරණ නොවන බව නවීන්ද සොයිසා මහතා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස