පොහොර නැත්නම් වතුරත් එපා…! ගොවීන් දහස් ගණනක් මින්නේරි නගරයට…! මහා මාර්ග වසා පොහොර උද්ඝෝෂණ…!

October 15, 2021 at 7:50 am | by emanisa.lk

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, පරාක්‍රම සමුද්‍රය යන මහා වාරිමාර්ග යටතේ වී වගාකරන ගොවීහු 5000ක පමණ පිරිසක් ඊයේ (14) මින්නේරිය නගර මංසන්ධියට පැමිණ “පොහොර නැත්නම් වතුර එපා” කියමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිරවීම මත විශාල රථවාහන තදබදයක් ද ඇතිවිය. මාස් කන්නයේ වගාව සඳහා වැව් ජලය නිකුත් කිරීමට පෙර ප්‍රමිතියෙන් යුත් පොහොර නිසි කලට ලබාදෙන්නැයි ගොවීහු මෙහිදී රජයට බලකර සිටියහ.

වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් එක් එක් වාරි ව්‍යාපෘති යටතේ පසුගිය දිනවල ගොවීන් නොයෙකුත් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වුවද බලධාරීන් ඊට නිහඬ පිළිවෙත් අනුගමනය කළ නිසා ගොවි සංවිධාන සියල්ල ඒකාබද්ධව මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වීමට තීරණය කළ බව සංවිධායකවරු පැවසූහ.

ගොවි ජනතාවගේ මෙම සාධාරණ ඉල්ලීම් කෙරෙහි රජය යහපත් ප්‍රතිචාර දක්වන තෙක් මෙම අරගලය අඛණ්ඩව ගෙනයන බව ඔවුහු කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *