පාර්ලිමේන්තුවේ කිසිම යෝජනාවකට එරෙහි වෙන්න අධිකරණයට බලයක් නෑ..! – කතානායක…

August 10, 2023 at 12:35 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව දැනට සම්මත කර ඇති කිසිදු යෝජනාවකට එරෙහිව ඕනෑ ම ආකාරයක නියෝගයක් හෝ තීන්දුවක් නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළව සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු පසුගිය දා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කතානායකවරයා ඊයේ (09) මේ බව සඳහන් කළේ ය.‍

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලැබ ඇති බැවින් එම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද වෙනත් ඕනෑ ම අධිකරණයක අධිකරණ බලයෙන් ඔබ්බට ප්‍රශ්න කිරීමට හෝ සමාලෝචන කිරීමට හෝ අභියෝග කිරීමට හෝ නොහැකි බව ද කතානායකවරයා කීය.

පාර්ලිමේන්තු කටයුතු ප්‍රශ්න කිරීමට හෝ ඊට මැදිහත් වීමට අධිකරණයට නොහැකි බවත් කතානායකවරයාට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් කතානායක අනුර බණ්ඩාරනායක දෙදහස් එක වසරේ ජුනි විසි වන දා පැහැදිලිව ප්‍රකාශ කළ බව ද කතානායකවරයා සිහිපත් කළේ ය.

ස්ථාවර නියෝග හැත්තෑ අට යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයකට බැඳීමක් නොවන අතර එයට අනුකූල වීමට නීතිමය බැඳීමක් ඒ අනුව පාර්ලිමේන්තුවට නොමැති බව ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *