පන්සල්වල සිද්ධි සමාජ මාධ්‍යයට දාන අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා…! – බුද්ධ අමාත්‍යංශ ලේකම්…

July 10, 2023 at 12:22 pm | by emanisa.lk

විහාරස්ථානයක ඇති වන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජය කැලඹෙන බැවින් එම සිද්ධි මාධ්‍යයට මුදාහරින පාර්ශ්වයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ අවධාරණය කරයි.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇති වූ සිද්ධිය දැනගත් විගස පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගත් බව පැවැසූ සෝමරත්න විදානපතිරණ, ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද කීය.

එම සිද්ධියේ දී භික්ෂුවගේ හැසිරීමත්, බාහිර පාර්ශ්වයක් එම ස්වාමීන් වහන්සේ ඇතුළු කාන්තාවන් දෙදෙනාට පහරදීමත් වැරදි බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙවැනි සිද්ධි සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසූ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ එතුළින් අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද අපහසුතාවට පත්වන බව සඳහන් කළේ ය.

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයේ ඇති වූ සිද්ධියට සම්බන්ධ හිමිනම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් තීරණයක් ගත යුතු බවත්, ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය මැදිහත් නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *