පන්සල්වල ඉන්නේ බදු නොගෙවන කෝටිපති..! වහාම පන්සල්වලිනුත් බදු අය කරනු…! – වනවාසී රාහුල හිමි…

February 12, 2024 at 4:48 pm | by emanisa.lk

ජීවිතය පවත්වාගෙන යාම සඳහා විවිධ දුක්ගැහැට විඳිමින් උපයා ගන්නා ආදායම්වලට බදු අය කර ගන්නා රටක ආගමික ස්ථානවලින් ආදායම් බදු උපයා ගැනීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක් බවට ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති.

“බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු පූජනීය ස්ථාන තියෙනවා, දවසකට රුපියල් කෝටි ගණන් එකතු වෙන. ඒ හැම තැනකින් ම අනිවාර්යයෙන් බද්දක් අය කර ගත යුතු යි. මම ආගමික නායකයින්ව හඳුන්වන්නේ බදු නොගෙවන කෝටිපතියෝ විදිහටයි.

මේක හැම කෙනාට ම සාධාරණයක් වෙන්න නම් ආගමික ස්ථානවලිනුත් බදු අය කර ගත යුතු යි.හැම බද්දක් ම හැම පුරවැසියා ම ගෙවන්න ඕනෙ. මේ ආගමික ස්ථානවලට මුදල් දෙන්නෙත් අමාරුවෙන් කීයක් හරි හම්බ කර ගන්න සාමාන්‍ය පුරවැසියෝ.

ඔවුන් බදු වර්ග ඔක්කොම ගෙවන ගමන් ආගමික ස්ථානවලටත් මුදල් දෙනවා. ආගමික ස්ථානවලින් ඒවාට බද්දක් අය කර ගන්නෙ නැත්නම් ඒක බදු ගෙවන අසරණ මිනිස්සුන්ට කරන විශාල අසාධාරණයක්.

මම අහන්නේ, ඇයි ඔවුන්ගෙන් බදු අය කර ගන්නෙ නැත්තෙ? වෙන මොනවත් නෙවෙයි හේතුව. තමන්ට ඡන්දෙ අහිමි වෙයි කියන බයටයි එහෙම නොකරන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. රටේ අසරණ ජනතාව සියලු බදු ගෙවනවා නම් ආගමික නායකයිනුත් බදු ගෙවිය යුතුයි.

පූජනීය ස්ථානවලට වැඩියෙන් ආදායම් ලැබෙන්නේ, පරිත්‍යාග සහ වතුපිටිවලින් ලැබෙන ආදායම්වලින්. ඒවා විගණනය කරලා බදු අය කර ගත්තොත් රටට විශාල ආදායමක් ලැබෙනවා.”

බීබීසී

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *