නවක වධකයින් 263කට නිවාඩු කාලේ විශ්වවිද්‍යාලය තහනම් කළා…! – රුහුණු උප කුලපති…

October 12, 2022 at 9:31 am | by emanisa.lk

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නවක සිසු සිසුවියන් අපහසුතාවට පත්වන කොන්දේසි පැනවූ බව කියන සිද්ධියක් සම්බන්ධව පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බව රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසයි.

මෙසේ විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම තහනම් කොට ඇත්තේ දෙවැනි වසර සිසුන් පිරිසකට බවත්, ඔවුන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් බැවින් විශ්වවිද්‍යාල භූමිය තහනම් කරන ලද නමුත් ඔවුන්ට පන්ති තහනම් නොකළ බවත් උප කුලපතිවරයා කීය.

කෙසේ වෙතත් දැනට සිදුකරන විමර්ශනයේදී මෙම ජේ‍යෂ්ඨ සිසුන් නවක සිසුන්ට බලපෑම් කර ඇති බව හෙළි වුවහොත් ශිෂ්‍යභාවය අහෝසි කර විශ්වවිද්‍යාලයෙන් නෙරපන බව ද හෙතෙම සඳහන් කළේය.

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් උප කුලපතිවරයා මෙසේද කීය.

“දෙවැනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙවැනි එම්.බී.බී.එස්. විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඒ අයට මේ දිනවල නිවාඩුයි. මේ දිනවල මෙම සිසුන්ට කිසිදු අධ්‍යයන කටයුත්තක් නැහැ. ප්‍රායෝගික හා සායනික පන්ති කිසිවක් නැහැ. එම නිවාඩු කාලය තුළ විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා.

මෙම සිසුන් කණ්ඩායම තමයි නවක සිසුන් කණ්ඩායමට කරදර කරන සිසුන් කණ්ඩායම. මෙතැන නවක වද සිද්ධියක් නැහැ. නවක සිසුන් පිළිගැනීමේදී ටයිපටි පැලඳ කලිසම් ඇඳලා අත්දිගට දමලා ඉන්න කියලා තියෙනවා.

ගැහැනු ළමයින්ට සාරි ඇඳලා කොණ්ඩා මෝස්තර දමලා එන්න කියලා තිබුණා. මෙතැනදි ළමයි ලස්සනයි. නමුත් අපි හිතන්නේ මේක නවක වදයක් කියලා. මෙහි සංකල්පය වැරදියි. ඒ නිසා තමයි අපි දෙවැනි වසරේ සියලුම සිසුනට දැනුම් දුන්නේ විශ්වවිද්‍යාල භූමියට එන්න එපා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *