පෙරටුගාමී නවක වධය ශිෂ්ට සමාජයට ගැළපෙන්නේ නෑ…! විශ්වවිද්‍යාලවලින් මුලිනුපුටා දැමිය යුතුයි…! – ජවිපෙ….

September 23, 2022 at 11:31 am | by emanisa.lk

ආණ්ඩුව ජනතාවට විශාල වධ බන්ධන පමුණුවන බැවින් නවක වධයක් උවමනා නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ කවරාකාර හෝ ශරීරික හෝ මානසික වධ බන්ධන තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බවයි.

“ජාතික ජන බලවේගය ලෙස කවරකාරයක හෝ නවක වධයක් අපි මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනවා. ශාරීරික හෝ මානසික හෝ මේ දෙකේ එකතුවක් ලෙසින් කරන ඕනෑම ආකාරයේ වධයක් අපි ප්‍රතික්ෂේප කරනවා.

එවැනි දේවල් මානව සමාජයකට ගැලපෙන දේවල් නෙවෙයි. විශ්වවිද්‍යාලයක වේවා, වෙනත් රජයේ ආයතනයක වේවා බලහත්කාරය පාවිච්චි කරන එවැනි සියලු දේ ප්‍රතික්ෂේප කරනවා. එවැනි දේවල නිරත වන යම් පිරිසක් ඉන්නවා නම් ඔවුන්ට අපි කියන්නේ කරුණාකර මෙයින් මිදෙන්න කියලයි. මේ රටේ පාලකයන් විසින් ඔබේ සහෝදර තරුණ තරුණියන් හට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වේවා දෙන වධය හොඳට ම ප්‍රමාණවත්.

ආණ්ඩු විසින් ඔබගේ ම සහෝදර සහෝදරියන්ට ඕනෑ තරම් වධ දී තිබෙනවා. ඕනෑ තරම් මානසිකව පීඩා කර තිබෙනවා. ජීවිතය කලකිරවන තරමට ම පාලකයන් විසින් උග්‍රකර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඔබ එක්ක එකට ඉගෙන ගන්න, ඔබ එක්ක එකට වැඩ කරන අයට සානුකම්පිතව සලකන්න. මේ වගේ පාලකයන් පාලනය කරන රටක මානව සමාජයේ අපේ පැවැත්ම තිබෙන්නේ අපි හැම දෙනා ම එකිනෙකා තේරුම් අරගෙන අවබෝධයෙන් වැඩ කිරීම තුළයි.

කවුරු හරි කියනවා නම් මේකට දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලන්න. එවැනි දේශපාලන කණ්ඩායම්වලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. කාටවත් වධ දෙන්න කිසිම කෙනකුට අයිතියක් නෑ. ශාරීරිකව හෝ මානසිකව වධ බන්ධනයකට ලක් කරන්න කිසි ම කෙනෙකුට අයිතියක් නෑ.

දේශපාලන පක්ෂයක් ඉන්නවා කියලා චෝදනා කිරීමේ තේරුමක් නෑ. පරීක්ෂා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල තියෙනවා. පරීක්ෂණ කරන ආයතන තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ගන්න පුළුවන්. ශිෂ්‍යයන්ගේ සහය ගන්න පුළුවන්. ඒ නිසා හරිහමන් පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට දඬුවම් දී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ නවකවධය මුලිනුපුටා දමන්න ඕනෑ.”

විශ්වවිද්‍යාලවල නවක වධය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර වූ ගැටුම සම්බන්ධව ඊයේ (22) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *