දේව බලයෙන් භූත බලයෙන් බුදු ගුණයෙන් කොරෝනා සුවපත් කරන්න බෑ….! ඒක පුළුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට විතරයි…! – ආචාර්ය ඕමල්පේ සෝභිත

January 23, 2021 at 9:41 pm | by emanisa.lk

ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට පවතින විශ්වාස කිසි ලෙසකවත් බෞද්ධ දර්ශනයේ ඇගයීමට ලක් නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පෙන්වා දෙති.

“ඒ නිසා බුදු දහම එවැනි දෑ වෙත මහ ජනතාව පොළඹවන්නෙත් නැහැ. ඒකට කියන්නේ අන්ධ විශ්වාසය.” යනුවෙන් උන්වහන්සේ කියා සිටිති.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් ඔබ්බට ගොස් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමකදීය.

කොරෝනා වෛරසය සහ මිත්‍යාව පිළිබඳ මතුව ඇති සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ රෝගයක් වැළඳෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවය.

එසේම බුද්ධ දේශනාවක අඩංගු අර්ථය මෙනෙහි කරමින් යම් සජ්ඡායනාවක් කරන අවස්ථාවක ඇති වන “චිත්ත ප්‍රසාදය සහ චිත්ත පාරිශුද්ධිය” පුද්ගලික මානසික සෞඛ්‍යට හේතු විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ.

“ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේට අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුමයි. ප්‍රතිකාර ගන්නා අතරේ තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගත යුතුයි. මොකද එය තමන්ගේ ශරීර සෞඛ්‍යට බලපාන නිසා. එතන තිබෙන්නේ තර්කානුකූල සහ අත්දැකීමෙන් ලද පාඩමක්.”

“උදාහරණයක් වශයෙන් බුදු හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඉතිපිසෝ ගාථාව සජ්ඡායනා කරන විට ඉන් ඇති වෙන්නේ චිත්ත ප්‍රසාදයක්. එතන කරුණාව, මෛත්‍රිය වර්ධනය වෙනවා. ක්‍රෝධය, තරහ, බය ඉවත් වෙනවා. ඒ බය ඉවත් වීමත් සමගම මානසික ඒකාග්‍රතාව ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. එමගින් භෞතිකව, ඒ කියන්නේ ශරීරයේ ඔරොත්තු දීමේ හැකියාවට බලපෑමක් සිදු වෙනවා.”

“එසේ ඇරෙන්න මන්ත්‍ර ශාස්ත්‍රවලින් හෝ දේව බලයෙන් ලෙඩ සුව වෙනවා කියන දේ මිත්‍යා විශ්වාසයක්. එය මුළු ලෝකයට ම පොදු තත්ත්වයක්. තම තමන් අදහන ආගම ධර්මය මොකක් වුණත් මේ වසංගතය මුළු ලෝකය පුරාම පැතිරිලා තිබෙනවා. එහිදී දෙවි කෙනෙක් හෝ වෙනත් ආගමික භක්තියක් ගැන විශේෂ සැලකිල්ලක් සිදු වී නැහැ, කෝවිඩ්-19 හැම තැනකම පැතිරී යනවා. ඒ නිසා දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි මේ අවස්ථාවේ කළ යුත්තේ.” ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

BBC සිංහල

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *