ගුරු විදුහල්පතිවරුන්ට විරුද්ධව මව්පියන් පාරට බහින දවස ළඟයි…! – ලාල් කාන්ත…

July 9, 2024 at 4:04 pm | by emanisa.lk

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“කුමන ආකාරයේ වෘත්තීය අරගල සිදු කළත් මේ ක්ෂේත්‍රවල අඛණ්ඩ වර්ජන කරන්න ගියොත් අනිවාර්යයෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවැති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මවුපියන් ගුරු, විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා.

දැන් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වගේම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන ආරම්භ කර තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වෙලා. මේවා අපිට පිළිගන්න බැහැ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩ කරන්න කියන එකයි.

වැඩ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕන තරම් ක්‍රම තියෙනවා. වැඩ වර්ජන පමණක්ම නෙවෙයි උත්තරය. අපි දරුවන් ගැන සිතා කටයුතු කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටලුවලට වඩා වෘත්තීය සමිති අතර ගැටලු වැඩියි. මේ රටේ අලකලංචි, බෙදීම් මෙන්ම අර්බුද වැඩිම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේයි. ප්‍රගතිශීලී, විකල්ප, ජේ. වී. පී, යූ. ඇන්. පී, සජබ, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, ස්වාධීන ඇතුළු තව කොයිතරම් නම් වෘත්තීය සමිති මේ රටේ තිබෙනව ද? මේවා සමගියෙන් කටයුතු කරනව ද? බෙදීම් තමයි තිබෙන්නේ.

ලංකාවේ වෘත්තීය සමිතිවල වැඩ කරන්න ලෙහෙසි පහසු නැහැ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් එන අවස්ථාවේ වෘත්තීය සංගම් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අරගල කරන එක සාමාන්‍ය දෙයක්. මේ අරගල කරන අය මැතිවරණ සටන් භූමියට එන්න එපා. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා අරගල කරන්න ඕනේ මැතිවරණ සටන් භූමියේ.

මේ ඉන්න පාලකයෝ පන්නා දමන සටනට තමයි අපි දැන් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවකයෝ සිදුකරන ඉල්ලීම් දෙන්න බැහැ කියලා අරගලකරුවෝ දැනගන්න ඕන. මේ ජාති ද්‍රෝහී කණ්ඩායම පන්නා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කර මිස ජනතා ඉල්ලීම් දිනාගත නොහැකියි.”

මහනුවරදී ඊයේ (08) විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *