ගංජා විකුණලා රට දියුණු කරන්න බෑ…!

June 26, 2023 at 10:02 am | by emanisa.lk

ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙරට තුළ ගංජා භාවිතය නීතිගත කිරීම සඳහා මේ වන විට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගංජා අපනයනය සඳහා ශක්‍යතාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගංජා අපනයන කිරීම තුළින් ආර්ථික වාසී පවතින බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගංජා සමාගම්වල ගිණුම් වාර්තා සොයා බැලීමේ දී අනාවරණය වන බව ද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.

අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මෙම අදහස් පළ කර තිබේ.

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශ්ව විසින් මෙරට ජනතාව දැනට මුහුණදෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවා ගනිමින් ඒ හරහා තම අරමුණු මුදුන්පත් කරගැනීමේ වෑයමක නිරත වෙමින් සිටින බව ද ඔවුන් පෙන්වා දෙයි.

දැනට පවතින ගංජා පිළිබඳ ධනාත්මක මතවාද හේතුවෙන් එය තව දුරටත් ප්‍රචලිත වන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙවන් වාතාවරණයක් තුළ ගංජා වැනි හානිකර මත්ද්‍රව්‍යයන් ප්‍රචලිත කරන විට වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බව ද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේය.

දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 100ක් පමණ මිය යන අතර දුම්කොළ සහ මධ්‍යසාර සමාගම් රුපියල් කෝටි 100ක පමණ මුදලක් ශ්‍රී ලාංකිකයින්ගෙන් උපයා ගන්නා බව ද ඔවුන් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *