කෝටි ගණන් පාඩු ඛනිජ තෙල් ශ්‍රී ලන්කන් බෝනස් ගෙවයි..! ලාභ ලබන බවට බොරු වාර්තාත් හදලා…!

January 4, 2023 at 8:40 am | by emanisa.lk

පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබිය දී මෙම ගෙවීම් සිදුකර තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව බෝනස් ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙනය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් බෝනස් ලෙස ගෙවා ඇතැයි ද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබේ.

මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද දැනගන්නට තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස බෝනස් ලෙස ගෙවා ඇත. එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ බෝනස් ගෙවා ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කර ගනිමින් මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනපතිට දුන් වාර්තාවේ දැක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *