කොළඹ කුණු ලොරි පිටින් කතරගමට! අතහිත ප්‍රාදේශීය සභා සභාපතිගෙන්!

December 4, 2020 at 7:00 pm | by emanisa.lk

පිටස්තර ප්‍රදේශවල නොදිරන අපද්‍රව්‍ය කතරගම ප්‍රදේශයට රැගෙන ඒම තහනම් කර තිබිය දී, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක නුවන් රංග මැදිහත්ව, කොළඹ ප්‍රදේශයේ සිට රැගෙන එන ලද කසළ තොගයක් කතරගම ගම්උදා භූමියේ පිහිටි කසළ අංගනයට ගෙනවිත් ගොඩබෑම නිසා අද (04) ගම්වාසීන් හා සභාපතිවරයා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

කසළ රැගෙන ආ ලොරියට යා නොදී නවතා ගෙන සිටි ගම්වැසියකුට සභාපතිවරයා පහර දුන් බවට සහ ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ගොස් නැවත එමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ කතරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.බී. විමලතිස්ස සමග සිටි තරුණයකු සභාපතිවරයා සිය මෝටර් රථයේ හප්පා තුවාල සිදු කළ බවට චෝදනා නැඟෙයි.

සභාපතිවරයාගේ කාර් රථයේ ගැටී තුවාල ලද බව කියන කතරගම කඳසුරිදුගම ප්‍රදේශයේ පදිංචි බී.පී. නලින්ද කතරගම පොලිසියට ද පැමිණිලි කර ඇත.

කතරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසන්නේ සිය ප්‍රාදේශීය සභාවට ආදායම් නොමැති නිසා මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බව ය. මෙම කුණු ලොරියක් සඳහා රු. 25 000ක් කතරගම ප්‍රාදේශීය සභාවට ගෙවන බව ඔහු සඳහන් කරයි. එසේ ම සුළු බහින් බස්වීමක් මිස ගැටුමක් ඇති නොවූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස