කාන්තාව ඉස්ත්‍රික්කයෙන් මැද්ද මහ බැංකු ලොක්කට ඇප නෑ…!

November 10, 2022 at 12:25 pm | by emanisa.lk

කාන්තාවකට පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලයක් දරන සැකකරුවෙකුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න සැකකරු ලබන 16 වන දා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඊයේ (09) නියම කළේ ය.

සැකකරු සහ තුවාලකාරිය නීත්‍යනුකූලව විවාහ වී නොමැති බවත් පෙර සිදුකර ඇති නීත්‍යනුකූල විවාහ ගිවිස ගැනීමෙන් වෙන් නොවී වසර 5කට ආසන්න කාලයක් එකට ජීවත් වී ඇති බවත් අධිකරණයේ දී අනාවරණය විය.

සැකකරු මෙම තැනැත්තිය පුළුස්සා වධහිංසා පමුණුවන අවස්ථාවේ ජීවිත ආරක්ෂාව පතා උඩුමහලින් බිමට පැන ඇති බවට තුවාලකාරිය කෙටි ප්‍රකාශයක් ගම්පහ පොලිසියේ සැරයන් සේනාධීර (55197) නිලධාරි වෙත ලබා දී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

තම සේවාදායිකාව වරායේ උසස් නිලයක් දරන බව පැවසූ, අගතියට පත් තුවාලකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගුණසේකර සැකකරු තුවාලකාරියගේ ජංගම දුරකතනයට ලද කෙටි පණිවුඩයක් මුල්කරගෙන ඇයගේ සිරුර පුළුස්සා ඇති අයුරු දැක්වෙන ඡායාරූප අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.

සැකකරු අමානුෂික ලෙස පහර දී විදුලි ස්ත්‍රික්කයෙන් සිරුර පුළුස්සා දමන අවස්ථාවේ වේදනාව උසුලා ගැනීමට නොහැකිව උඩුමහලින් බිමට පැන ඇති බවට තුවාලකාරිය ප්‍රකාශ කර ඇති බවට සඳහන් වුව ද සැකකරු විසින් කාන්තාව තුවාලකාරියව උඩුමහලින් බිමට තල්ලු කරනු ලැබුවේ ද? යන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

තුවාලකාරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සම්පූර්ණ වූ ප්‍රකාශයක් මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කරනු ලැබූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *