කන්නංගර-ප්‍රේමදාස ගොඩනැඟූ නිදහස් අධ්‍යාපනය ආණ්ඩුව විනාශ කරලා…! වහාම අධ්‍යාපන අයිතිය තහවුරු කරනු…! – සජිත්….

September 20, 2021 at 7:31 am | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කරයි.

රජයේ අදූරදර්ශීභාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් දිළිඳු දරුවන්ගෙන් බැහැර කෙරෙමින් පවතින බව විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

“ඔබ අප සැම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය අද දිනයේ මුහුණ දී සිටින්නේ එහි ඉතිහාසයේ අඳුරුතම යුගයකට ය. රට පාලනය කරන ආණ්ඩුවට හා එහි නායකකාරකාදීන්ට අධ්‍යාපන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගළවා ගැනීම පිණිස සාධනීය වැඩපිළිවෙලක් පවතින බවක් දක්නට නොමැත. මෙම අවාසනාවන්ත අධ්‍යාපන අර්බුදයේ වර්තමාන හා අනාගත ප්‍රතිවිපාකයන්හි බරපතලකම හා ව්‍යසනකාරි බව මෙරට පාලකයන්ට නොපෙනීම හා අවබෝධ නොවීම අතිශය පිළිකුල් සහගත ය.

ආණ්ඩුවේ අදූරදර්ශි භාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳින ලද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිදු අසරණ දරුවන් බැහැර කෙරෙමින් පවතින අතර ආචාර්ය සී- ඩබ්. ඩබ්- කණ්නන්ගර ශ්‍රීමතාණන් විසින් ගොඩනැඟු හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කළ පාසල් දරුවන් උදෙසා නොමිලේ නිළ ඇඳුම් ලබාදීම, පෝෂණීය ආහාර සැපයීම, මාපිය කැපකරු භාරකාර ක්‍රමය ඇතුළු විවිධ සුභසාධන වැඩසටහන් ඔස්සේ සුරක්ෂිත කරනු ලැබූ නිදහස් අධ්‍යාපනය අද දවසේ පොදු ජනතාවට, ඔවුන්ගේ දරුවන්ට අහිමි කෙරෙමින් පවතින්නේ ඉතාමත් ඛේදනීය අයුරිනි.

දැනට මාස දෙකකට අධික කාලයක් තිස්සේ මේ රටේ පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන් කාලයක් තිස්සේ මුහුණ දෙන වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කරගැනීම සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිති. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීිමට රජය අසමත් වන විට ගුරු විදුහල්පතිවරු තම පඩිපත වැයකරමින් විශාල වෙහෙසක් දරමින් ලබාදුන් ජාලගත ඉගෙනුම පවා අද වන විට දැයේ දරුවන්ට අහිමිව ගොස් ඇත. වැටුප් විෂමතා ගැටළුව විසදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවක් දිස්වන අතර විසඳුම් ලබානොදී කමිටු පත් කරමින් කල් මරමින් සිටි. මේ තත්ත්වය පිළිබඳව වහා අවධානය යොමු කොට පවතින වැටුප් විෂමතා ගැටළු විද්වත් කමිටු යෝජනා කරන පරිදි විසඳා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම පාලකයන්ගේ වගකීම වන්නේය.

මේ වන විට ලක්ෂ හතලිස් තුනකට අධික වු මෙරට පාසල් සිසු දරුදැරියන්ට වසර එක හමාරකට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වි ඇත- වැටුප් විෂමතා අරගලය හා රජය එය විසඳීමට සාධනීය පියවරක් නොගන්නා පරිසරයක් තූළ මාස දෙකක පමණ කාලයක් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ද අහිමි වි ඇත- විශ්වවිද්‍යාල හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමා ඇත- අධ්‍යාපනය අහිමි වීම නිසා පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇත- අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම කඩාවැටීම දරු දැරියන්ගේ පුද්ගල මානසික හා ශාරීරික සංවර්ධනයේ විශාල බිඳවැටීමකට හේතු වන බවත් එය මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය ආපස්සට හැරවීමට කටයුතු කරන බවත් ඉතාමත් පැහැදිලිය.

එවන් වාතාවරණයක් තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම සමඟි ජන බලවේගයේ නායකවරයා හා රටේ විපක්ෂ නායකවරයා වශයෙන් පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඞ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් පාලකයන්ට බල කර කියා සිටිමි.”

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස