ආදායම් වැටී වියදම් නැඟලා! රට බංකොලොත් වෙන්න ළඟයි!

January 31, 2019 at 2:12 am | by admin

රටේ ආදායමට වඩා විශාල ලෙස වියදම වැඩි වීමෙන් රට බංකොලොත්භාවය කරා යමින් පවතින බව තමා හිටපු මුදල් ඇමැතිවරයා ලෙස ප්‍රකාශ කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානයක පවසයි.

රටේ ආදායම රුපියල් බිලියන 2,200ක් වෙද්දී රජයේ සේවකයන්ට ඉන් රුපියල් බිලියන 860ක් ගෙවිය යුතු බවත් විශ්‍රාමිකයන්ට රුපියල් බිලියන 240ක්ද ණය සඳහා රුපියල් බිලියන 1,200ක්ද ඇතුළු වියදම් රැසක් පැවතීම මීට හේතු වී ඇතැයිද හෙතෙම පැවසීය.

මේ වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ පමණක් ඇස්තමේන්තුගත අලාභය රුපියල්කෝටි 8,000ක් වන බවත් වසරකදී එය මහවැලි යෝජනා ක්‍රමයක් තැනීමට යන මුදල් හා සමාන අතිවිශාල මුදලක් වන බවත් ඔහු කීවේය.

සමෘද්ධියට වසරකට වෙන් කරන්නේත් රුපියල් කෝටි 4,600ක් බව පවසන ඇමැතිවරයා, ලං.වි.ම. අලාභය එමෙන් දෙගුණයකට ආසන්න වන බව ද කියා සිටියේය.

මෙවැනි තත්ත්වයක් රටකට දරාගත නොහැකි බවද මෙවැනි තත්ත්වයක් යටතේ වසර 12ක් ගතවුව හොත් ලං.වි.ම. රුපියල් බිලියන 550ක පමණ අලාභයක් ලබනු ඇති බවත් ඔහු කීවේය.

මෙවැනි තත්ත්වයක් රටටත් ලං.වි.ම.ටත් අත්වීමට හේතුව දේශපාලනඥයන් හරි තීන්දු හරි විදියට නොගැනීම බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු මේ බව පැවැසුවේ ඇතුල්කෝට්ටේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30දා) එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *