ආණ්ඩුව වැඩ කරන්න ඕන වෘත්තීය සමිති කියන විදිහට..! – අගමැතිට දැනුම් දෙයි…

February 1, 2023 at 10:00 pm | by emanisa.lk

‘කිසිම රාජ්‍ය ආයතනයක් වහල දාන්න තීරණ අරගෙන නැහැ’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

රටේ වත්මන් ආර්ථික, සමාජීය ත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා..

වෘත්තීය සමිතිවල අදහස් ගැඹුරින් සාකච්ඡා කරලා ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළකට සියලු දෙනා එකඟතාව පළ කළා. ඒ අනුව අද දින මේ සාකච්ඡාවට පිවිසීමට තාවකාලික අනුකමිටුවක් ඇති කළා.

මේ වෙලාවේ අපි කටයුතු කළ යුතු දළ එකඟතාවන් කිහිපයක් තිබෙනවා. ත්‍රයිපාක්ෂික එකඟතාවකට පිවිසීමේදී වෘත්තිය සමිති ඒවාගේම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශයත් ඒ වගේම රාජ්‍යයත් නියෝජනය කිරීම ඉතා වැදගත්. මේ අනුව වර්තමාන ආර්ථික ගැටලු වගම රජය මුහුණ දී ඇති ගැටලුත් විසඳීම සඳහා වූ ගමනකට අපි එකඟතාව ප්‍රකාශ කළා.

එසේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් වැඩකළ හැකි නම් ඒ වැඩ කළ හැකි කාල සටහන හෝ වැඩසටහන තමයි අප සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. ඊට අවශ්‍ය මූලික කරුණු රාශියකට උදව් වීමට භාණ්ඩාගාරයේ අදහස් ලබා ගන්න පුළුවන්.

ආර්ථිකය ගමන් කළ යුතුයි. ක්‍රියාකාරී විය යුතුයි. එහි දී පෞද්ගලික අංශයටත් විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. පෞද්ගලික අංශය තවම අපි කැඳවලා නැහැ. ඔබතුමාලගේ එකඟතාවෙන් ඊළඟ රැස්වීමට කැඳවන්න පුළුවන්. ඒ අයත් බොහොම ඕනෑකමින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ජාතික එකගතාවකට සමාජ ගිවිසුමකට එකඟතාවයකට එන්න.අමාරුකම් පීඩනයන් දුෂ්කරතා තිබෙන බව ජනාධිපතිතුමත් රජයත් අපි පිළිගන්නවා.

විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩි කර ගත හැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන වෙනම සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කරගැනීම අවධානයට ගත යුතුයි. මේ වැඩපිළිවෙළේ දී යම් යම් කාරණා ශාක්ෂාත් කර ගන්න සියලු පාර්ශවයන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධීකරණය කිරීම පිළිබඳව විශේෂයෙන් ව්‍යාපෘතියක් ලෙස සලකනවා.

මෙහිදී ස්ථානගතවල ප්‍රශ්නවලට වඩා ඉහළින් ආර්ථික තීරණ පිළිබඳ අවධානය යොමු කරනවා. ප්‍රතිව්යුහගත කිරීමට නියමිත ආයතන ලාභ ලැබීමට පරිවර්තනය කිරීම එක් ඉලක්කයක්. එය සාර්ථක කර ගැනීමට යම් යම් එකගතා අනුව විශ්වාසයෙන් වැඩ කටයුතු කළ යුතුයි.

ආර්ථිකය යම්කිසි පණගැන්වීමට එනව නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අමාරුකම් තියෙනවා. විදේශ විනිමය ගලා ඒමේ දොරටුව විවෘත කර ගත්තොත් විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට දොරටුව විවෘත කර ගත්තොත් එතැන සිට ආර්ථික ඉඩකඩ විවෘත වෙනවා.

අපි කිසිම ආයතනයක් වහල දාන්න තීරණ අරගෙන නැහැ. ඒවා එක එක විකල්ප පමණයි. එකට ගමන් කරනවද, ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරිත්වය පමණක් භාර දෙනවා ද, විවිධ ක්‍රමවේද තිබෙනවා. දැනට කෙරීගෙන යන සාකච්ඡා පමණයි.

මේ අමාරු කර්තව්‍යයේදී රටත්, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ සේවා තත්ත්වය ආරක්ෂා කළ හැකි, ඵලදායි ක්‍රමවේදයකට රට පරිවර්තනය කරගන්න සහාය වෙන්න.

මෙහිදී වෘත්තිය සමිති අවධාරණය කළේ රජය තීන්දු තීරණ ගැනීමේදී වෘත්තිය සමිති සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන්නේ නම් සුදුසු බවයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධීපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස