ආණ්ඩුවට නැවත 88-89ක් ඕන වෙලා…! – අනුර..

October 24, 2022 at 10:42 pm | by emanisa.lk

88 – 89 වැනි කාලයක් යලිත් අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුවට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ඔහු පැහැදිලි කරන්නේ ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙමින්, අධි ආරක්ෂිත කලාප හදමින්, නාස්තිය දූෂණය කරපින්නා ගෙන ඇති ආණ්ඩුව ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්න බැරි ආණ්ඩුව 88 – 89 ක් නිර්මාණය කරන්න බලා සිටින බවයි ..

“ප්‍රචණ්ඩත්වය තියෙන්නේ ආණ්ඩුවෙ මිසක් අපේ ළඟ නෙවෙයි. සාමකාමී උද්ඝෝෂණවලට මඟ රැකලා ඉඳලා ප්‍රහාර එල්ල කරන්න පොලිසියට උපදෙස් දෙන්නෙ කවුද. අපිද ආණ්ඩුවද. ආණ්ඩුවේ එකම උත්තරය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම විතරයි. ජනතාවට මුහුණ දෙන්න බැරි ආණ්ඩුවකට කරන්න පුළුවන් එකම දේ එච්චරයි.

පහුගිය කාලෙ රටේ විශාල ජනතා නැගිටීමක් තිබුණා. ඒක මෑත ලංකාවේ පැනනැගුණු විශාලතම ආශ්වාදජනක ජනතා පිබිදීම. ඒකේ ජයග්‍රහණ රැසක් තියෙනවා වගේම අවසන් දේශපාලන ජයග්‍රහණයක් පිළිබඳ අපි කාටවත් සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒකට හේතු තිබුණා. ඒ වගේ ජනතා නැගිටීමකට අනිවාර්‌යෙන්ම සම්පූර්ණ විය යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එවැන්නකට ඉතා දියුණු මධ්‍යගත සංවිධානයක් අවශ්‍යයි. ඒ වගේම ඒ සටනේ අරමුණු, ඉලක්ක පිළිබඳ මතවාදී ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ ජනතා නැගිටීම හොඳම ප්‍රතිඵල වලින් කෙළවර කරගන්න අසමත් වුණු බව අද බොහෝ දෙනා පිළිගත්ත විත්තිය. ඒ නිසා අපිට අද අවශ්‍ය වෙනවා ඉතාමත් ශක්තිමත් සංවිධානාත්මක සහ මතවාදී මගපෙන්වීමක්. ඒ යටතේ ඊළඟ ජනතා නැගිටීම සිදුවිය යුතුයි. එහෙම නොවුණොත් ඒක මේ පාලකයන්ට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වෙනවා. ඒ නිසා තමයි අපි හිතන්නේ ජනතාව සංවිධානය කොට මේ ක්‍රියාවලියට මැදිහත්වීමේ ප්‍රධාන කොටසක් ජාතික ජනබලවේගයට පැවරී තියෙන බව.“

පළවෙනි රැල්ලෙ අපි යම් පාර්ශ්වීය කොටස්කරුවන් විතරයි. ඒ අරගලය පැනනැගුණු ආකාරය තුළම යම් පාර්ශ්වීය කොටස්කරුවන් වීම හැර එහි ප්‍රධාන බලවේගය වෙන්න අපට ඉඩක් තිබුණේ නෑ.

අපි දන්නවා ජනතා පීඩාව න්‍යාය පත්‍රානුකූලව පැන නගින එකක් නෙවෙයි. මහ බැංකු අධිපතිවරයාත් ප්‍රකාශ කරල තිබුණා පහුගිය දවසක ජනතාවගේ දෙවැනි පිබිදීම ඉතාමත් භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අනතුරක් තියෙනවා කියලා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වගකීම තමයි මේ තත්ත්වයට රටේ යහපත වෙනුවෙන් නිසි පරිදි මැදිහත් වීම. අපේ රට පරම්පරා කිහිපයක්ම ඇතිවෙනකම් ලේ වගුරපු රටක්. තවදුරටත් ප්‍රචණ්ඩත්වයක් අපේ රටට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මේ තත්ත්වය යම් සංවිධානාත්මක නායකත්වයක් යටතේ මෙහෙයවිය යුතුමයි. කාලවකවානුව තීරණය කරන්නේ අපි මොන තරම් දුරට ජනතාව සංවිධානය කරන්න සමත් ද කියන කාරණය මත”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස