අරගල ගැටුමට මැදි වූ දරුවාට කිසිම අනතුරක් නෑ…! දරුවන්ට ආදරේ නම් මෙහෙම කරන්නේ නෑ..! – ළමා රෝහල් අධ්‍යක්ෂ….

October 10, 2022 at 4:54 pm | by emanisa.lk

අරගල භූමියේ ගැටුමකට මැදිව ළමා රෝහලට ඇතුළත් කළ දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

එම දරුවා වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කොට බාහිර හෝ අභ්‍යන්තර හෝ කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බැවින් රෝහලෙන් පිටත්කර යැවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් කියා සිටියේ, දරුවන් පිළිබඳ දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් එවැනි අරගලකාරී ස්ථානයන්ට දරුවන් රැගෙන යෑමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බවය.

“දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් හෝ කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා.

මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙළඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි.

අපි දැක්කා දරුවන් උස්ස උස්ස මාධ්‍යවලට ප්‍රදර්ශනය කරනවා. මේක සැලසුම්සහගත ක්‍රියාවක් බව බලා ඉන්න කොට පෙනී යනවා. මේ වගේ අවස්ථාවලට දරුවන් රැගෙන යනවා නම් ඒ දෙමාපියන් දරුවන්ට එතරම් ආදරයක් නෑ කියලා අපට කියන්න වෙනවා.

රටේ තියෙන දේශපාලන තත්ත්වය හෝ වාතාවරණය හෝ හොඳයි කියල මම කියන්නේ නෑ. එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා විසඳගන්න පාසල් දරුවන් හෝ කුඩා දරුවන් හෝ යොදා ගැනීම ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *