අපේ ප්‍රශ්න අපට විසඳ ගන්න පුළුවන්…! ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරනවා..!

September 13, 2022 at 11:16 am | by emanisa.lk

රටේ පවතින ගැටලු රට තුළ විසඳා ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු වී තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කළ බවට කරන ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි අවධාරණය කරයි.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින් ඊයේ (12) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලක් රජය කැප වී සිටින බව ද රටට ගැළපෙන ලෙස හා ජනතාවගේ බලාපොරොත්තුවලට අනුගත වෙමින් සංහිඳියාව ඇති කිරීම සහ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට අකුල් හෙළන නීතිවිරෝධී ක්‍රියාවන් නවතාලීමට පියවර ගෙන තිබෙන බවත්ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් නැවැත්වීම හා මිනිසුන්ගේ නිදහස ආරක්ෂා කිරීම එහි අරමුණ වී තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා දූෂණය වළක්වන්න පියවර ගෙන තිබෙන බවද රජයේ යාන්ත්‍රණය පිළිබඳ ආංශික අධීක්ෂණය කළ හැකි ලෙස ප්‍රතිපාදන සකස් කොට තිබෙන බවද කියාසිටී. සංහිඳියාව වර්ධනය, මානව හිමිකම් වර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙන බව ද රටට ගැලපෙන ලෙස හා ජනතාවගේ බලාපොරොත්තුවලට අනුගත වෙමින් ඒ පියවර ගෙන තිබෙන බවද පෙන්වා දෙයි.

සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන් කළ විදේශ කටයුතු ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා රාමුව ඇතුළත එවැන්නක් කරන බව ද කුමන ආකෘතියට අනුව ද එය සිදුකරන්නේ යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරගෙන යන බවද කියා සිටී.

ජනාධිපති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන අතර ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන ගෙන ඒම, රැඳවූවන් නිදහස් කිරීම ආදිය මේ වන විට කරගෙන යන බව ද ත්‍රස්ත විරෝධී පනත වෙනස් කරන්නේ ලෝකයේ අනෙකුත් රටවල පිළිගත් ක්‍රමවේදයට අනුව බවද ඒ මහතා ප්‍රකාශ කරයි. රට තුළ තිබෙන වගවීමේ හා සංහිඳියා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවතින යන්ත්‍රණය සඳහා අඛණ්ඩවම සහාය ලබා දෙන බව පවසන අමාත්‍ය අලී සබ්‍රී ශ්‍රී ලංකාව අඛණ්ඩව මානව හිමිකම් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද ඊට අමතරව ලෝකයේ අනෙකුත් රටවල් සහ අන්තර්ජාතික සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද සඳහන් කරයි.

වත්මන් රජය ආර්ථිකය අර්බුදය සම්බනධයෙන් සංවේදීව කටයුතු කරන බව පෙන්වා දී තිබෙන ඇමැතිවරයා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන ලබාදීමට පියවර ගෙන තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් තිබෙන බවද සඳහන් කරයි. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහාය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බව ද කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *