OIC පුටු 120ක් අල්ලන්න සීතල යුද්ධයක්…! මැති ඇමැති ලිපි අරන් නිලධාරීන් ඇමැති වෙත..!

October 12, 2021 at 12:46 pm | by emanisa.lk

සහකාර පොලිස් අධිකාරි තනතුරට නිලධාරීන් 225ක් උසස්වීමත් සමග පුරප්පාඩු වූ පොලිස් ස්ථානාධිපති තනතුරු ඉල්ලා මැති ඇමැතිවරුන්ගේ ලිපි රැගත් නිලධාරීහු විශාල පිරිසක් ඊයේ (11) උදෑසන සිට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ සිටියහ.

කෙසේ වුව ද ඇමැති ආරක්ෂක අංශය එම ලිපි භාරගෙන පැමිණි නිලධාරීන් ඇතුළට නොගෙනම හරවා යැවූ බවත් අනාවරණය වේ. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසන්නේ දේශපාලනඥයන්ගේ නිර්දේශ සහිත ලිපි ප්‍රතික්ෂේප කරන අතර ස්ථානාධිපති ධුරයක් ලබාදීමට එය සුදුසුකමක් සේ නොසලකන බවය.

ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා මීට පෙර සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බවත් එහිදී සුදුසුකම් ලැබූවන්ට ප්‍රමුඛතාව දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225කට උසස්වීම් ලබාදීමේදී පොලිස් ස්ථානාධිපති තනතුරු 120ක් පමණ පුරප්පාඩු විය.

එම තනතුරු සඳහා ආසන සංවිධායක හා මැති ඇමැතිවරුන්ගේ නිර්දේශ අවශ්‍ය බවට ලද ආරංචියක් සමග තනතුරු අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් මැති ඇමැතිවරුන් පසුපස යන්නට පටන් ගෙන ඇති අතර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරුන් එකම පොලිස් ස්ථානයට නිලධාරීන් දෙතුන් දෙනාට ලිපි ලබාදී ඇතැයි දැනගැනීමට ඇත. සුදුසුකම් සපුරා නැති නිලධාරීන් මෙලෙස දේශපාලනඥයන්ගේ ලිපි රැගෙන තනතුරු අපේක්ෂාවෙන් සිටින බව ද හෙළිවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස