NMRA දත්ත මැකීම යට ගහන්න සල්ලි මළු ගණන් විසිවෙයි…! නීතීඥ සංගම් සභාපති සාලිය පීරිස් සැකකරු වෙනුවෙන් උසාවියට…!

October 7, 2021 at 7:25 am | by emanisa.lk

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය පිළිබඳ නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (06) විභාගයට ගැනිණි.

එහි දී අදාළ අපරාධයට සැකපිට අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවා වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ය.

මෙම දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකී යාම අතපසු වීමකින් සිදුව ඇති බව සිය සේවාදායකයාගේ අදහස බවත් මෙම දත්ත චංචල දේපළ ගණයට නොවැටෙන බවත් සඳහන් කරමින් සාලිය පීරිස් සැකකරුට ඇප ඉල්ලා සිටියේ ය.

ඊට එරෙහි වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අනාවරණය කළේ මෙම දත්ත මැකීම දිගින් දිගට ම සිදුව ඇති බවයි. ඊට රාජ්‍ය සේවකයින්, කූඨ ව්‍යාපාරිකයින් මෙන් ම ඖෂධ නියාමන අධිකාරියේ සේවකයින්ගේ සහාය ලැබී ඇති බවත් මෙය අතිවිශාල ජාවාරමක් බවත් පෙන්වා දුන්නේ ය.

නීතීඥයකුට ඕනෑ ම සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇති වුව ද ලංකාවේ ඉහළ ම ගාස්තුවක් අය කරන ජනාධිපති නීතීඥයකු, නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටීම සමාජමාධ්‍යවල කතා බහට ලක්ව තිබේ.

නීතියෙන් රිංගා මෙම දැවැන්ත ඖෂධ ජාවාරම කෙසේ හෝ යට ගැසීම සඳහා මෙරට ඖෂධ ජාවාරම්කාරයින් සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් එක්ව ප්‍රබල මෙහෙයුමක් දියත් කර ඇති බවට සමාජමාධ්‍යවල අදහස් ප්‍රකාශ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *