IMF දෙවන වාරිකේ ලැබුණු ගමන් සංවර්ධන කටයුතු ආරම්භ කරනවා…! – බන්දුල…

November 16, 2023 at 9:38 am | by emanisa.lk

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‍මෙසේද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසරේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය ලෙස ද මෙය හැඳින්විය හැකියි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ අන්තර් ජාතික ගෙවීම් තුලාවේ ජංගම ගිණුමේ හිඟය නිසා රට බංකොලොත් තත්ත්වයට ඇද වැටුණා. ඒ නිසා අන්තර් ජාතික ආර්ථික විශ්ලේෂකයින් විසින් “ඵල දැරීමට පෙර ඵල භුක්ති විදි රටක්” ලෙස මෙරට හැඳින්වුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක ඒ ඒ කාල වකවානු තුළ නියමිත ආකාරයට සම්පූර්ණ නොකිරීම ද රට පවතින අර්බුදකාරී තත්ත්වයට ඇද වැටීමට හේතුවුණා.

මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අප විසින් කරුණු හතරක් අනුගමනය කළ යුතුයි. පළමු වැන්න නම් රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. දෙවැනි කරුණ ආණ්ඩුව දරණ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් අඩුකර ගැනීමයි. තෙවන කරුණ ලෙස රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගන්නා අතර රටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකරගත යුතුයි. සිව්වැනි කරුණ වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමයි. මෙවර අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ, මෙම කරුණුවලට අදාළවයි.

ඒ වගේම අප මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වනවා. එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාළය තුළ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණයි. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදීයි. ඒ වගේම තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුවයි. කවුරුන් විසින් ආණ්ඩු කල ද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටිනවා. එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණයි.

අප ලෝකයේ රටවලින් ණය ගෙන නොගෙවා සිටිය හොත් පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ ණයවර ලිපියක් හෝ නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ වගේම ලංකාව විසින් නිකුත් කරන ණයවර ලිපි අනෙක් රටවල් බාර නොගන්නේ නම්, ඛණිජ තෙල්, ගෑස්, ඹෟෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වයෙන් මිදීමට දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් පමණයි.

මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් පැවති පාලනය අසමත් වූ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම බාරගනු ලැබුවා. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු මෙරට ණය හිමි රාජ්‍යයන්හී නායකයන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විසඳුමක් ලබාගැනීමට ප්‍රවේශ වුණා.

අයවැයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කල යුතු වනවා. ණය ප්‍රථිව්‍යුගත කිරීමට හැකි වුවහොත් අයවැයේ ඇති සියළුම යෝජනා ඉෂ්ඨ කල හැකි සම්පත් ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඉන් අනතුරුව නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට ද හැකි වනවා.

අයවැය මගින් වැඩි කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවක වැටුප ගෙවීමට සිදුව ඇත්තේ ද රජය විසින් ජනතාවගෙන් එකතු කරන බදු අදායම්වලින් පමණක් බවද සියලු දෙනාම විශේෂයෙන්ම මතක තබාගත යුතු වනවා.

– midea unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස