නිලධාරියෙකුට පිදේනි දෙන ව්‍යවස්ථා සංශෝධන එපා… එය අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කිරීමක්…! – ජාත්‍යන්තර විනිසුරු සංගමය….

August 4, 2026 at 10:01 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජය උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ඒමට සැලසුම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) ඊයේ (03) සිය දැඩි කනස්සල්ල පළ කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ලොව මහාද්වීප පහක ජාතික විනිසුරු සංගමයන් 93ක් නියෝජනය කරන මෙම සංවිධානය ලොව විශාලතම සහ වඩාත්ම කීර්තිමත් සංවිධානය ලෙස එය ප්‍රකටය.

සිය සංවිධානය නියෝජනය කරන රටවල අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම, මානව හිමිකම් සහ නිදහස ශක්තිමත් කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වේ.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු තවත් බොහෝ සංවිධාන සහ විචාරකයින් මෙම සංශෝධනය පිළිබඳ ප්‍රකාශ කර ඇති බරපතල කනස්සල්ල සමඟ තමන්ද එකඟ වන බව ජාත්‍යන්තර විනිසුරු සංගමය අවධාරණය කරයි.

විශේෂිත අධිකරණ නිලධාරියෙකුට හෝ නිලධාරීන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් මෙම යෝජනාව ගෙන එන ලද්දක් යැයි දැනුමැති නිරීක්ෂකයින් අතර පුළුල් ලෙස මතයක් පැවතීම, රජයේ අභිප්‍රාය කුමක් වුවත් අධිකරණ ස්වාධීනත්වය බරපතල ලෙස අවතක්සේරුවට ලක්වීමට හේතු වන බව සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සලකා බලා මේ වන විට ඉදිරිපත් කර ඇති යෝජිත නීති සම්පාදනය යළි සලකා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරු සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස