පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොක රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර මහතා වරදකරු කරන බවය.
“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා.
අදාළ කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා.
එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා. විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරනවා.”
සුළුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළේය.