මීගමුව බන්ධනාගාර සිදුවීම රට ගිලගන්නා මහා අරාජිකත්වයේ ලකුණක්…! – දිලිත් ජයවීර….

July 8, 2026 at 1:07 pm | by emanisa.lk

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බිහිසුණු ලේ වැගිරීම වත්මන් සමාජයේ පවතින සැබෑ ඛේදජනක යථාර්ථය සහ රට තුළ නිර්මාණය වෙමින් පවතින මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක් බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ඊයේ (07) පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව සිය මුළු ශක්තිය සහ කාලයම පටු දේශපාලන අරමුණු සහ දේශපාලන පළිගැනීම් සඳහා පමණක් වැය කරමින් සිටින බවයි.

ලංකා ඉතිහාසය පුරා බන්ධනාගාර කැරලි සහ ගැටුම් රැසක් වාර්තා වී තිබුණ ද, රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු එකම ස්ථානයකදී ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව දිලිත් ජයවීර සිහිපත් කළේය.

වත්මන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් පිරිසක් පැමිණ ඇති බවට ‘මල් පැල’ යන වචනයෙන් හැමෝම ආඩම්බරයෙන් කතා කළ ද, රටේ ප්‍රගතිය තීරණය කරන කිසිදු නිර්ණායකයකින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයන්ට බුද්ධිමත් හෝ උගත් ප්‍රවේශයක් නොමැති බව ඔහු පැවසීය. බන්ධනාගාරගතව සිටි සියලු දෙනා කුඩුකාරයන් ලෙස හංවඩු නොගසා, රටේ පවතින නීති පද්ධතියේ අඩුපාඩු නිසා එහි ගිය මිනිසුන් ද සිටින බව වටහා ගැනීම යුක්තිගරුක බව හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව සංදර්ශන පවත්වමින් රට ඉදිරියට යන බව පැවසුව ද, රටේ පවතින සැබෑ මූල්‍ය සහ ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කරමින් සිටින බව දිලිත් ජයවීර අනාවරණය කළේය.

ආණ්ඩුවේ එකම කාර්යය වී ඇත්තේ දිනපතා ප්‍රවෘත්ති මවමින්, කතන්දර හදමින් සහ දේශපාලන පළිගැනීම් පෙන්වමින් ජනතාව තාවකාලිකව ‘චූන්’ කිරීම පමණක් බවටද දිලිත් ජයවීර චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස