ජනාධිපති ඍජු නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අතර උපවාසයක් ආරම්භ කිරීම නිසා අසාධ්‍ය වී රෝහල්ගත කළ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
සෙසු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආහාර ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එසේ නොමැති නම් මෙතරම් කාලයක් කිසිවකුට නිරාහාරව සිටිය නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සිදුකරන මෙම උත්සාහය පලක් නොමැති ක්‍රියාවක් බවයි.
එබැවින් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ අපරාධකරුවන්, ඊට සැබෑ ලෙසම සහාය දැක්වූවන් සහ අපරාධ පිළිබඳ තොරතුරු වසන් නොකර, ඒවා නීතිය හමුවේ අනාවරණය කිරීම බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් අවධාරණය කරයි.