අස්වැසුමට දෙවරක් ගෙවූ මුදල් ආපසු අරන් නෑ… රජයට අහිමි මුදලයි පොලියයි ගැන උත්තර නෑ…!

May 9, 2026 at 12:05 pm | by emanisa.lk

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ පුවත්පත් නිවේදනය සම්බන්ධයෙනි.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය (welfare benefits board) හරහා රු. ලක්ෂ 5000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීම පිළිබඳ පිළිබඳ ඔවුන් නිකුත් කළ නිවේදන රාජ්‍ය මුල්‍ය පාලනය බිඳවැටී ඇති ඛෙදජනක තත්ත්ව‍ය පිළිබඳ ප්‍රකාශනයකි. ප්‍රවේශය සාංඝික දේපලක් වන ජනතා බදු මුදල් වාෂ්පවීම පිළිබඳ ඔවුන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් අනාවරණය කරයි.

එම නිවේදනයේ දැක්වෙන පරිදි, පුද්ගලයින් 49,759 දෙනෙකුට ගෙවූ මුදල ප්‍රබන්ධයකි. එය අද දක්වා නැවත කැඳවීමට නොහැකිව ඇති මුදල පමණී. සැබෑ ලෙසම මෙලෙස ‍රුපියල් ලක්ෂ 5000 කට මදක් අඩු මුදලක් රාජ්‍ය මුල්‍ය කලමනාකරණ ක්‍රමවේදයේ සියලු සංවරණ හා තුලන පද්ධතිය (Checks and Balances)ට පිටතින් ජනතාව අතට පත්වී ඇත.

භාණ්ඩාගාරය කිසිදු මුල්‍ය විනයක් නොමැති කතා සාප්පුවක් බවට මේ වන විට පත් ඇත්තේය.
මහා භාණ්ඩාගාර මංකොල්ලය මෙන්ම අස්වැසුම රු. ලක්ෂ 5000 ක ගෙවීම ද රාජ්‍ය මුදල් පරිහණය සම්බන්ධයෙන් අනාගතයේ අපරාධ, දුෂණ, වංචා චෝදනා ලෙස සලකා විමර්ශනය සිදු කළ හැකි මුදල් හුවමාරුවකි. තව ද, මේ පුද්ගයින් වෙත යොමු කළ මුදලට රජයට අහිමි වූ මුදල, එනම් අදාළ මුදල මත පැටවෙන පොලිය පිළිබඳ නිවේදනයේ කිසිවක් සඳහන් නොවේ.

මෙම මුදල් මේ රටේ අන්ත දිළිදු ජන කොටසක් විසින් මේ වන විටත් සිය පරිහරණයට ගෙන ඇත. ඔවුන්ගේ මැයි මස අස්වැසුම වාරිකයෙන් මුළු මුදල අය කර ගන්නේ නම්, ඔවුන්ගේ පෝෂණ සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමට නොහැකිව ඔවුන් අන්ත අසරණභාවයට පත් වනු ඇත. එය කිසි ලෙසකින් හෝ සිදු නොකළ යුතු තත්ත්වයකි.

මුදල් අමාත්‍යාංශය හා එහි ආධුනික නිලධාරීන්ගේ වරදට රටේ අන්ත දිළිඳු පුද්ගලයින් වන්දි ගෙවිය යුතු නැත. දිගින් දිගටම මෙවැනි අතපසුවීම් සිදුවන්නේ නේ නම්, මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මුල්‍ය ආයතන, වානිජ්‍ය බැංකු සහ පුරවැසියන් අතර විහිළුවක් බවට පත්වීම නොවැළැක්විය හැකි වන්නේය.

මහා භාණ්ඩාගාරය දැන්වත් ‘අපොන්සුකරණය’ නොවූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනයට නතු කළ යුතු අතර, එසේ නොවන්නේ නම් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරද, හැකර් ප්‍රහාර නැවත නැවතත් සිදුවී ජනතා බදු මුදල් වාෂ්පවීම නොවැළැක්විය හැකි වනු ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණ කරයි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න /නීතිඥ අතුල ද සිල්වා/ රජිත් කීර්ති තෙන්නකෝන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස