අස්වැසුම සහනාධාරය දෙවරක් ගෙවා ඇති බවත් ඒ සඳහා රු. ලක්ෂ 5000ක මුදලක් වැයකර ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
2026 මැයි 06
ගරු කතානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
2026 අප්‍රේල් 22 දින පෙ.ව. 9.23 ට ඔබතුමන්ගේ [email protected] ඊ මේල් ලිපිනයට මහා භාණ්ඩාගාරයේ ඩො.මිලියන ඩොලර් මිලියන 2.5 ක මුදලක්, අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් සිදු කළෙමු. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 (2023.12.29) : මහජනතාවගෙන්, දේශපාලන අධිකාරියෙන් සහ අනෙකුත් ආයතනවලින් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සම්බන්ධ කටයුතු කළ යුතු ආකාරයට ඒ සඳහා ඔබතුමන්/ඔබගේ කාර්යාලය මේ දක්වා පිළිතුරු ලබාදී නොමැති බව නැවත කණගාටුවෙන් සිහිපත් කරමි.
එසේ තිබිය දී, සුභසාධක ප්රතිලාභ මණ්ඩලය (welfare benefits board) හරහා රු. ලක්ෂ 5000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියක් අප වෙත වාර්තා වී ඇත.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන්වීම හා සමාන ආකාරයකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/වැඩිපුර මුදල් ගෙවීම රාජ්‍ය මුල්‍ය කලමනාකරණයේ අද ඇතිවී තිබෙන බිඳවැටීම, වියවුල හා වගකීම් විරහිත භාවය මනාව පිළිබිඹු වන්නකි.
2026 අප්‍රේල් මස දාහත් ලක්ෂ තිස් තුන් දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවකට අස්වැසුම ප්රතිලාභ ගෙවීමට නියමිතව තිබුණි. එයින් පිරිසකට අස්වැසුම ප්රතිලාභ දෙවරක් මුදල් (Double Payment) ගෙවා ඇත. තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබාදුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් (Additional Payment/Extra Payment) සහිතව මුදල් ගිණුමට බැර කර ඇත.
මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර, සුභසාධක ප්රතිලාභ මණ්ඩලය මගින් අස්වැසුම් ලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරනු ලැබූ මුදල රු. ලක්ෂ 5000 කට මදක් අඩු ප්රමාණයකි. රජයේ මුදල් ආයතනික මුදල් රෙගුලාසිවලට පිටින්, කිසිදු වගකීමක් නොමැතිව, කිසිදු රාජ්‍ය මුල්‍ය පාලනයක් නොමැතිව, ආයතනගත ක්‍රමවේදයන්ට මගහරිමින් සිදුව ඇත. සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයකි/දුෂණයකි/වංචාවකි.
එබැවින්, 148 ව්‍යවස්ථාව යටතේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වෙතින් පහත ප්‍රශ්න සඳහා වහා පිළිතුරු සොයා ගත යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කරමු.
1. අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක්/ද්විත්ව ගෙවීම් ලැබී තිබේද?
2. කෑගල්ල, මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේද?
3. දෙවරක් මුදල් (Double Payment) නියමිත ප්‍රමාණයවට වැඩි මුදලක් (Additional Payment/Extra Payment) ගෙවනු ලැබ ඇති මුලු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණද?
4. අස්වැසුම් ලාභීන් වෙත නියමිත ප්‍රමාණයවට වැඩිව කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණද?
5. සුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය/කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?
6. සුභසාධක මණ්ඩලයේ මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනියුක්ත කර ඇති නිලධාරීයා/නිලධාරීන්/කොමසාරිවරයා කවුද?
7. දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය/අයථා පරිහණය/දුෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?
8. මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මු.රෙ. 135 යටතේ මුල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද? එසේ බලතල පැවරූ නිලධාරියා/බල අධිකාරිය කවුද?
9. භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුණාගෙන තිබේ ද?
10. එසේ නොවේ නම් මෙය තවත් මෙයත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?
භාණ්ඩාගාර මංකොල්ලයත්, සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ අවිධිමත් ගෙවීම්, මාර්ග සංවර්ධන අධිකාරියේ ද්විත්ව ගෙවීම් මගින් පැහැදිලිවන්නේ මේ වන විට මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුදල් කලමනාකරණයේ මුලික පදනම දෙදරා ගොස් ඇති බවයි. මෙම දුර්වලතාව හා අකාර්යක්ෂමතාව මේ වන විට ලෝකයටම නිරාවණය වී ඇති බැවින් මහා භාණ්ඩාගාරය දැන්වත් ‘අපොන්සුකරණය’ නොවූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ පාලනයට නතු විය යුතු බව අප අවධාරණය කරමු.
ගෙවනු ලැබූ මුදල් නැවත අය කර ගැනීමේ දී, මේ අන්ත දිළිඳු ජනතාව නැවත දැඩි අපහසුතාවට පත් නොකර වාරික මගින් පමණක් අය කර ගැනීමට පියවර ගැනීමට අවධානය යොමු කරන ලෙස ද කාරුණිකව ඉල්ලමු.
පාර්ලිමේන්තුව සතු මුදල් බලය නිසි ව්‍යවහාරයේ යෙදවීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ගරු මන්ත්‍රීතුමන්ලා වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ද, මේ පිළිබඳ වහා ක්‍රියාත්මක වී පියවර ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න /නීතිඥ අතුල ද සිල්වා/ රජිත් කීර්ති තෙන්නකෝන්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන්
පිටපත්
1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා වෙත