අපේ ආණ්ඩුව 2026 සිට ක්‍රෙඩිට් ක්‍රමයක් මත පදනම් වුණ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්න හදත්දී, නවසීලන්තය අවුරුදු විසි තුනක් ඒ ක්‍රමය කරලා, අසාර්ථකයි කියලා, විභාග මත පදනම් වූ ක්‍රමයකට ආපහු යන්න තීරණය කරලා. ඒත් 2026 ඉඳන්. පෙරේදා ඒ කියන්නේ අගෝස්තු 04 වෙනිදා මේ ගැන ඒ රටේ අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරිය පුවත්පත් සාකච්ඡාවක් තියලා ප්‍රකාශයට පත් කරලා. මේක දෛවෝපගතයි.
ඒ ක්‍රමයට කියන්නේ NCEA කියලා. මට නවසීලන්තයේ පාසල් අධ්‍යාපනය ගැන පෞද්ගලිකව සමීප අවබෝධයක් තිබුනත්, එහෙ තවමත් ක්‍රියාත්මක මේ NCEA ක්‍රමයේ ආරම්භය ගැන අදහසක් තිබුනේ නැහැ. විශේෂයෙන්ම පැවති විභාග කේන්ද්‍රීය ක්‍රමය වෙනුවට මේ අලුත් ක්‍රමය 2002දී හඳුන්වා දෙත්දී ඒක යුක්තිසහගත කරන්න කියපු කරුණු ගැන අවබෝධයක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ ක්‍රමය අසාර්ථකයි කියලා ඉවත් කරලා නැවත විභාග කේන්ද්‍රීය ක්‍රමයකට යන්න යන වෙලාවේ අර පරණ ඉදිරිපත් කරපු හේතු ගැනත් සාකච්ඡා වෙන්න පටන් අරන්. ඉතින් ඒ ගැනත් අවබෝධයක් ලැබුනා. අවාසනාවකට මෙන් ඒවා දැන් අවුරුදු විස්සකට පස්සේ අපේ ආණ්ඩුව ඒක අපේ රටට හඳුන්වා දෙන්න යත්දී කියන හේතුවලට බොහොම සමානයි.
අර අපේ සුනිල් ජයන්ත නවරත්න මහත්තයා ඉස්සර මේවා ප්‍රචාරය කරත්දී කියන කතාවක් තියෙන්නේ අර “කොකෙකුටයි, මාලුවෙකුටයි, අලියෙකුටයි, වඳුරෙකුටයිද කොහෙද ගහකට නැගලා පෙන්නන්න කිව්වොත්, වඳුරා දිනනවා අනිත් අයට බැරි වෙනවා, අපේ රටේ අධ්‍යාපනයත් ඒ වගේමයි, මේක වඳුරන්ට විතරක් දිනන්න පුළුවන් ක්‍රමයක්ය, අපිට ඕනේ හැම සතෙකුටම තමන්ගේ හැකියාව පෙන්නන්න පුළුවන් අධ්‍යාපනයක්ය” කියලා. ඒක මේ ලඟදි අර සිරසේ මාවත වැඩසටහනේදීත් එක නිලධාරී මහත්මයෙක් ඉතාම අලුත්, බලසම්පන්න අදහසක් වගේ ආඩම්බරෙන් ඒක ඉදිරිපත් කළා. ඔය වගේම අදහසක් මත තමයි නවසීලන්තයත් 2002 දී මේ ක්‍රමයට ගිහින් තියෙන්නේ. අධ්‍යාපනයෙන් කිසිම ළමයෙක් ෆේල් වෙන්න ඕනේ නැහැ කියලා අපේ අගමැතිතුමියත් කියනවා මම දැක්කා. ඉතින් එදා නවසීලන්තයේත් (අද ලංකාවේ වගේම) අරමුණ වෙලා තියෙන්නේ විභාග පීඩනය අඩු කරලා, විභාගවලින් දැනුම මනින ක්‍රමය වෙනුවට වෙන ක්‍රමයක් හඳුන්වා දෙන්න. නමුත් අද වෙනකොට ඒක අසාර්ථකත්වයෙන් කෙලවර වෙලා කියන එක තමයි බොහෝ දෙනෙකුගේ මතය.
අධ්‍යාපන ඇමතිනිය වන එරිකා ස්ටැන්ෆඩ් කියනවා “ගුරුවරුන්ගෙන් 60%ක් කියනවා මේ ක්‍රමය විශ්වසනීය නැහැ කියලා, දෙමව්පියන්ගෙන් 50%ක් සහ ශිෂ්‍යයන්ගෙන් 40%ක් ට තේරෙන්නේ නැහැ මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමය කියලා, සේව්‍යයන්ගෙන් 70%ක්ම කියනවා මේක සුදුසුකම් මැනීම සඳහා වලංගු ක්‍රමයක් නෙවෙයි කියලා”. ගොඩක් අය පෙන්වා දෙන දෙයක් තමයි ඕනෑවට වඩා ශිෂ්‍ය හිතෛෂී, නම්‍යශීලී ක්‍රමයක් හඳුන්වා දෙන්න ගිහින් අන්තිමට ශිෂ්‍යයන් විසින් තමන්ට ඕනෑ විදියට අපයෝජනය කර ගන්න ක්‍රමයක් තමයි බිහිවෙලා තියෙන්නේ කියන එක. ඔය අපේ අය හඳුන්වා දෙන්න යන ක්‍රමය වගේම නවසීලන්තයේ NCEA ක්‍රමයේදීත් ජාතික මට්ටමේ විභාග සහ පාසල් පාදක ඇගයීම් කියන දෙකම තියෙනවා. ඉතින් අන්තිමට වෙලා තියෙන්නේ ශිෂ්‍යයන්ගෙන් 25%ක්ම පාසල් පාදක ඇගයීම්වලින් අවශ්‍ය ක්‍රෙඩිට් ප්‍රමාණය සම්පූර්ණ කරගෙන ජාතික විභාගය නොලියාම ඉන්නවා. ඉතින් ශිෂ්‍යයන්ට කිසිම දෙයක් ගැන ගැඹුරු අධ්‍යයනයක් නැහැ කියලා එහෙ අය පෙන්වා දෙනවා. ඒ කියන්නේ දැනුම නැතිව ඉතා පහසුවෙන් කොලිෆිකේෂන් ගන්න පුළුවන් ක්‍රමයක් හැදිලා කියලා.
ඉතින් නවසීලන්තය දැන් ආපහු පරණ, සම්ප්‍රදායික ක්‍රමයට යන්න තීරණය කරලා. ක්‍රෙඩිට් වෙනුවට A, B, C, D, E විදියට ආපහු ශ්‍රේණි දෙන්න තීරණය කරලා. 12 සහ 13 වර්ෂවලදී (විෂය කෑලි වෙනුවට) සම්පූර්ණ විෂයයන් උගන්වලා පරණ විදියේ ගැඹුරු දැනුමක් ලබාදෙන, තරගකාරී (ඒ කියන්නේ ඉතින් දැන් අපේ ආණ්ඩුව කියන විදියට නම්) පීඩාකාරී විභාග ක්‍රමයක් සහිත ක්‍රමයකට යළි මාරු වෙන්නයි යන්නේ.
නවසීලන්තයේ ලිබටේරියන් ප්‍රතිපත්ති පිළිගන්න පක්ෂයක් තියෙනවා ACT කියලා. ඒකෙ නායකයා ඩේවිඩ් සිමෝර්. මම එයාගේ සමහර ප්‍රතිපත්තිවලට ඒ තරම් කැමති නැති වුනත් මනුස්සයා මේ සම්බන්ධයෙන් කියන කාරණා වැදගත්. එයා කියනවා “මේ NCEA ක්‍රියාත්මක වුනේ තරගය සහ ඒ මගින් ලබා ගන්නා විශිෂ්ටත්වය වැරදියි කියන දෘෂ්ටිවාදය මත වන අතර හැම ශිෂ්‍යයෙකුටම තමන්ටම අනන්‍ය වූ අධ්‍යාපන මාවතක් තිබිය හැකියි කියන විශ්වාසය මතයි” කියලා. ඔහොම හැමෝටම ගැලපෙන අධ්‍යාපනයක් හදන්න ගියාම වෙන්නේ අන්තිමට අධ්‍යාපනය කියලා එකක් නැතිව යන එක විතරයි. ඔහොම ඕනේ කෙනෙකුට හරියන එක එක අධ්‍යාපන හදන්න සහ හැමෝටම හරියන ඇගයුම් ක්‍රම හදන්න ගියාම (ඒ කියන්නේ සුනිල් ජයන්ත නවරත්නගේ විදියට කියනවා නම් වඳුරන්ටයි, අලින්ටයි, මාළුන්ටයි, කොක්කුන්ටයි ඕනේ ඕනේ විදියට අධ්‍යාපන නිර්ණායක ලිහිල් කළාම) අධ්‍යාපනය කියන එකේ ප්‍රමිතිය පහල බහිනවා. ඩේවිඩ් සිමෝර් පෙන්වා දෙනවා මේ NCEA හඳුන්වා දෙන වෙලාවේ නවසීලන්තය OECD රටවල් අතර පළමු ස්ථාන පහ අතර හිටියත්, මේ වෙනකොට ගණිතය අතින් ඒක 23 දක්වා පල්ලම් බැහැලා කියලා. එයා කියන්නේ ශිෂ්‍යන්ගේ සැබෑ දැනුම, සැබෑ ඇගයුම් ක්‍රම මගින් මනින්න කියලයි. සියලු ශිෂ්‍යයන් ගොඩ යන ක්‍රම හදන්න ගියාම වෙන්නේ ඒ සියලුම ශිෂ්‍යයන් ඇතුළු රටම අඩුම තරමින් අධ්‍යාපනය අතින් පහලට වැටෙන එක විතරයි.
මම කියන්නේ නැහැ නවසීලන්තය හරියි කියලා. මම කියන්නේ අපි මේ කරන්න යන දේ අපිට අවුරුදු විස්සකට කලින් කරලා ඒක අසාර්ථකයි කියලා දැන් විශ්වාස කරන රටක් තියෙනවා කියලයි. ඉතින් මේ අලුත් ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන අයව නිකම් මේ පරණ රාමුවෙන් එලියට එන්න බැරි සම්ප්‍රදායිකයෝ ටිකක් කියලා නොසලකා ඉන්නේ නැතිව ඒ කියන කතා ටිකත් බැරෑරුම්ව හිතන්න. අපි කියන දේ පිළිගන්න කැමති නැතිනම් අර නවසීලන්තයේ සුදු නෝනලා මහත්තුරු කියන දේවත් අහන්නකො.
ජ්‍යේෂ්ඨ කථිචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය