රට පුරාම කතා කරන වී, හාල් මාෆියාව පිටුපස සිටින බවට චෝදනා කරන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී, හාල් ප්රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඞී. ලාල් කාන්ත පවසයි.
“රටේ ගොවි ජනතාව ආරක්ෂා කරමින් ඒ අයට සහන සලසන්න තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවත් එක්කයි අප ගමන් කරන්නේ. පසුගිය කන්නයේ මේ රටේ ගොවි ජනතාව කෙඳිරි ගෑවේ නෑ, නියමිත පරිදි සියලුම සහන ඒ අයට ලබාදීම අප සිදු කළා. ගොවියෝ පාරට බැස්සේ නෑ. උද්ඝෝෂණ කළේ නෑ. ඔවුනගේ වීවලට හොඳ මිලක් ලබාදී තිබෙනවා.
බඩ ඉරිඟු සඳහා නියමිත මිල ලැබුණා. ගොවියන්ගේ පිරිවැයට සමාගාමීව ලාභයක් කාලයකට පසුව ලබා දෙන්නට ඒ අයට හැකියාව මේ අනුව ලබාදී තිබෙනවා. මෙම යල් කන්නයේදී ගොවියන්ට වාසිදායක මිලක් ලබා ගන්නට කටයුතු කරනවා වාගේම, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සහයෝගයද අප ලබා ගන්නවා.
ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේද වෙනස්කම් සිදු කරන ගමන්ම කන්නයේ වී අලෙවි මණ්ඩලයට එන වී වේළා ගන්නට නොහැකි තත්ත්වයට විසඳුමක් අප මේ දිනවල කල්පනා කරමින් සිටිනවා. තෙත වී වේළා ගන්නේ කෙසේද මෙයට විසඳුම් අප ඉදිරියේදී සකස් කරනවා. අප වී මිලදී ගන්නේ රාජ්‍ය අනුග්රහයද ඇතිවයි. ඒ වගේම පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිවයි.
මේ ක්‍රම දෙක තුළින්ම අප ගොවියන්ගේ වී මිලදී ගන්නට වැඩ සටහන් සකස් කර තිබෙනවා. හාල් වී මාෆියාව ඇති කරන පෞද්ගලික අංශයක් ගැන කතා කරනවා. ඩඩ්ලි සිරිසේන වාගේ පිරිස් ඇත්තටම රටේ හිටියේ නැති නම් ඇත්ත කියන්න වෙනවා. මෙම වී හාල් ප්රශ්නය තව තවත් අර්බුදයකට පත් වෙනවා.
මේ නිසා මේ අයගේද සහයෝගය ඇතිවයි අප වී හාල් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ. ගොවියා, නිෂ්පාදකයා, පාරිභෝගිකයා යන තිදෙනාම සිටින ඔවුන්ට ලාභ ලැබෙන සේ සියල්ල ආර්ථික ප්රජාතන්ත්රවාදය සහිතආර්ථ ක්‍රමය යටතේ සියල්ලටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂි කර්මාන්තය දියුණු කරනවා.”
ඇමැතිවරයා එසේ පැවැසුවේ රට පුරා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කරමින් නිරීක්ෂණ වැඩ රැසකට එක්වෙමින් පැවැති මාධ්‍ය හමුවකදීය.
– නිමල් අල්ගෙවත්ත