දුම්රිය මාර්ග රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ක්ලීන් කරන්න අනුමැතිය…!

January 23, 2025 at 9:52 am | by emanisa.lk

කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන්ට නිවාස හෝ වන්දි හෝ ලබා දී ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2024-08-05 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස පරිශ්‍රවලින් මිල දී ගත් නිවාස ඒකක 694 ක පදිංචි කිරීම් මේ වන විටත් අවසන් කර ඇති අතර, තවත් නිවාස ඒකක 144 ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබීමට නියමිතව ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස යෝජනා ක්‍රම නොමැති මහරගම, හෝමාගම හා පාදුක්ක යන ප්‍රදේශවල අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක නිවාස ඒකක 120 ක නිවාස පරිශ්‍රයක් ඉදිකරමින් පවතින අතර, එහි වැඩ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.

ඒ අනුව, එකී නිවාස පරිශ්‍රයේ පදිංචි කිරීමට නියමිත ප්‍රතිලාභින්ට ඔප්පු ලබා දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කොට්ටාව මාලපල්ල හි පිහිටි ඉඩම සහ ඒ තුළ පිහිටී නිවාස පරිශ්‍රයේ රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තියෙහි විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ට වැය බරක් නොවන පරිදි අදාළ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *