ජනවාර්ගික ගැටලුව වෙනුවෙන් ෆෙඩරල් ක්‍රමයේ විසඳුමක් පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේදී සලකා බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
පළාත් සභා මැතිවරණයත් ලබන වසර අවසානයේදී පවත්වන්නට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් පෙරේදා (4) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම මන්ත්‍රීවරු හමුවේ කිසිවක් ප්‍රකාශ නොකළ බවද ශ්‍රීධරන් මහතා පැවසීය. අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ඒ මහතා කීය.
පුරාවිද්‍යා හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උතුරේ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීම් පිළිබඳව මෙහිදී අරසු කච්චි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ එම කාරණා පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සඳහා රජයේ අවධානය තව දුරටත් යොමුකර ඇති බවත් ය.
මෙම සාකච්ඡාවට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රාසමානික්කම් ශානක්‍යන්, පද්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දන් කෝඩීෂ්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන මහත්වරු සහභාගී වූහ.