ආණ්ඩුව අදානි ඉදිරියේ දණ නොගසයි…. සුළං බලාගාර ව්‍යාපෘතිය යළි සලකා බැලේ…!

October 14, 2024 at 7:52 pm | by emanisa.lk

ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළ අතර වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *