බඩඉරිඟු මිල ඇතුළු දැනට පවතින තත්ත්වයන් අනුව බිත්තරයක මිල රුපියල් 36 –37 වැනි අගයක පවත්වා නොගතහොත් එය බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්. පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා පවසයි.
“කොහොමත් මේ වන විට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත. බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා.
ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා. ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි.”
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.