ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස බැලීමේදී පෙනී යන්නේ එදා විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ හැට නව ලක්ෂයේ ජන වරමින් මෙවර ජනාධිපතිවරයා තීරණය වී ඇති බව යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔබට අවශ්‍ය වූයේ අපට පාඩමක් ඉගැන්වීමට නම්, අපි ඒ පාඩම ඉගෙන ගෙන නැවත ඔබගේ පරීක්ෂණයට මුහුණ දීමට හොඳින් සූදානම් වන බවයි.
“මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මා කෙරෙහිත් විශ්වාසය තැබූ සියලු ම පුරවැසියන්ට පළමුව මාගේ කෘතගුණ පූර්වක ස්තුතිය පුද කරමි.
ඔබ වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමෙහිලා වූ අපගේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන දිනක පාක්ෂිකයන් ලෙස ඔබ දුන් මෙම අමිල ශක්තිය කිසිදා අමතක නොකරමි.
මඩ, අවලාද සහ පොරොන්දු දේශපාලනයට සීමා නොවී ජනපති අපේක්ෂකයෙකු ලෙස අලුත් දේශපාලන සංස්කෘතියක් වේදිකාව මත තබන්නට මෙවර මා දැරූ උත්සාහය යම් තරමකින් හෝ සාර්ථක වූ බව මාගේ විශ්වාසයි.
ජනපති සටනට ආ තරුණ අපේක්ෂකයා ලෙස ඔබ මා ආදරයෙන් වැළඳගත් බව මම දනිමි. ඇතැම් විට මෙවර මනාපයක් ලකුණු නොකළ ද අපගේ වැඩපිළිවෙළ පිළිබඳව බලා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බව ද දනිමි.
එතෙක් රටේ මහ ජනතාව වෙනුවෙන් රජය ගෙන යන යහපත් කටයුතු සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන අතර අභිනව ජනාධිපතිවරයාට මාගේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් සුභාශිංසනය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගමි.”