ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු’ රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (02) රාත්‍රී 10.30 ට සජීවීව විකාශනය කරනු ලැබූ ‘සලකුණ’ සංවාදශීලී දේශපාලන වැඩසටහනේ සියලු පටිගත කල පිටපත් මේ වන විට අදාල මාධ්‍ය ආයතනය ඇතුළු සියලු ම අන්තර්ජාල වෙබ් අඩවිවලින් ඉවත්කර තිබේ.
සජීව ව විකාශනය කළ රූපවාහිනී වැඩසටහනක් පැය කිහිපයක් තුළ එය සටහන්ව තිබූ සියලු තැන්වලින් මෙසේ එකවර ඉවත්කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලාංකික මාධ්‍ය ඉතිහාසයේ පළමු වතාවටය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්රමුඛ, ප්‍රවීන මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබන ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහන දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් දහස් ගණනක් විසින් නරඹන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකි.
ඊයේ රාත්‍රියේ මෙම වැඩසටහනට සහභාගීවූ විමල් වීරවංශ මහතා විසින් ලාංකීය සහ ලෝක දේශපාලනය තුල සිදුකෙරෙන විදේශීය බලපෑම් පිළිබඳ ඉතා සාධනීය විග්‍රහයක් සිදුකරනු ලැබූ අතර චීනයේ BRI ව්‍යාපෘතියට දායකවූ රටවල් එකිනෙක අධිරාජ්‍යවාදී කඳවුරු විසින් ගොදුරු කරගනු ලැබූ ආකාරය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලැබූයේ අනාගතයේ සිදුවිය හැකි බොහෝ ආක්‍රමණ පිළිබඳවද උදාහරණ ද සහිතව අනතුරු අඟවමිනි.
එසේම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බොහෝ දේශීය පාර්ශවයන් මෙම අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු බවට පත්ව ඇති ආකාරය විමල් වීරවංශ මහතා විසින් පවසනු ලැබූයේ, ‘අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ’ යනු ඇතැම් ඊනියා විචාරකයින් පවසන ආකාරයේ හිතලුන් නොවන බවට කරුණු තහවුරුකර පෙන්වමිනි.
වත්මන් ජනාධිපතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා හෝ අනුර කුමාර දිසානායක යන කවරෙකු ජනාධිපතිවරණයේ ඡන්ද අතර පෙරමුණට පැමිණියත් රටේ ඉරණම තීරණය කරනු ලබනු ඇත්තේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන මේ ප්රතිගාමී බලවේගයන් විසින් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ඉතා පැහැදිලිව තහවුරු කරනු ලැබීම ‘සලකුණක් වත් නොතබා’, .මෙසේ “සලකුණ” අතුරදහන් කිරීමට හේතුව විය හැකි බව බහුතරයක් විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ මතයයි. එසේම හෙට (04) දින ආරම්භවීමට නියමිත තැපැල් ඡන්දය නිසා මෙම හදිසි ඉවත්කිරීම පිටුපස කිසියම් දේශපාලන බලපෑමක් තිබිය හැකි බවටද තොරතුරු වාර්තාවේ.
කෙසේවෙතත් මෙම ‘සලකුණ’ වැඩසටහනේ පිටපතක් ලබාගත හැකිදැයි විමසමින් අඛණ්ඩව වර්ධනය වන ඉතා විශාල විමසීම් ප්‍රමාණයක් මේ වන විට අප වෙත ලැබෙමින් පවතින අතර අදාල වැඩසටහනේ දී ඉදිරිපත්වූ කරුණුවල වැදගත්කම සලකාබලා අවම වශයෙන් එම සංවාදයේ උපුටාගත් කොටස් හෝ අපගේ පාඨකයන් වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට අපි අදහස් කරමු.
Wimal Weerawansa ෆේස්බුක් පිටුවෙනි.