රටක සංවර්ධනය යනු භෞතික සංවර්ධනය පමණක් නොව මානව, ආධ්‍යාත්මික මෙන්ම සංස්කෘතික සංවර්ධනය ද බව ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා පවසයි.
“සංවර්ධනය කියන්නේ වරාය, ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ග මේවා පමණක් නෙවෙයි. සංවර්ධනයේ ප්‍රධාන ප්රකාශනයක් තමයි මේ රටේ, භූමියේ ජීවත් වන ජනයාගේ ජන ජීවිතවල සංවර්ධනය, අපි කුඩා කාලයේ ඉස්කෝලේ යන කලේ අපිට ගොවියෙක් අඳින්න කිව්වම අපි ඇන්දේ අමුඩයක් ගහගෙන ඉල ඇට ටිකක් මතුවෙලා පේන කෙසඟ මනුස්සයෙක් බිම කොටනවා. අවුරුදු 76කට පස්සේ ඒ වයසේ දරුවෙකුට ගොවියෙක් අඳින්න කිව්වොත් එයා අඳින්නෙත් ඒකමයි.
එහෙම නැතුව කොට කලිසමක් ටී ෂර්ට් එකක් ඇඳගෙන කුඹුරක ට්‍රැක්ටරයක් එලවාගෙන යන මනුස්සයෙක් අඳිනවද? අඳින්න පුළුවන්. ඒ අඳින්නේ ගොවියෙක් නෙවෙයි ට්‍රැක්ටර් මාමා. මෙන්න අපේ සංවර්ධනය. ගොවියා තාමත් අපි එදා දැක්ක ගොවියමයි. එතකොට අම්මා අඳින්න කිව්වොත් එදා වගේ දුම් ගගහා ළිපට පිඹින රෙද්දයි හැට්ටෙයි ඇඳගත්තු ස්ත්‍රියක් අඳින්නේ. මේ රටේ අදටත් බොහොමයක් ගම්බද රජයේ පාසල්වල ඉගෙන ගන්නා කුඩා දරුවන්ට අම්මා අඳින්න කිව්වොත් මම එදා ඇඳපු චිත්‍රයම තමයි අදත් අඳින්නේ. සංවර්ධනය වෙලාද අපි.
ඇයි අපිට බැරි අම්මා අඳින්න කිවම වාහනයක් එලවාගෙන යන ස්ත්‍රියක් අඳින්න. එහෙම අඳින්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒ ගැන සන්තෝසයි. නමුත් සමස්ත දරු පරපුරටම අම්මා අඳින්න කිව්වොත් වාහනයක් පැදගෙන යන ස්ත්‍රියක් අඳින්න පුළුවන් සමාජයක් අපි බිහිකරගන්න ඕනේ. රට පිළිබඳව ජනතාව පිළිබඳව එවැනි ඉදිරි දැක්මක් සහිත පක්ෂයක නායකයෙක් අපි බලයට පත්කර ගන්න ඕනේ.
ඒ සඳහා අපට අවස්ථාව ලැබිල තියෙනවා ලබන මාසේ 21 වැනිදා. අපි ඒ අවස්ථාව පාවිච්චි කරලා මේ රට සැබෑ සංවර්ධනයක් දිශාවට භෞතික සංවර්ධනයක් පමණක් නෙවෙයි අධ්‍යාත්මික, මානව සංවර්ධනයක්, සංස්කෘතික සංවර්ධනයක් දිශාවට ගෙන යා හැකි නායකත්වයක් අපි 21 වැනිදාට පත්කරගන්නවා.
එම නායකත්වය හොබවන ජාතික ජන බලවේගය යටතේ මේ රට නියත ලෙසම මේ වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන සංවර්ධන මාවතට ගෙන යනවා.”
කම්මැල්ලවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොට්ටාව නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ “රට අනුරට” මහජන රැළිය අමතමිනි.